Tuesday 31 July 2018

උපන්දා සිට අවුරුදු දෙක දක්වා දරුවෙකුට ඇතිවිය හැකි ආසාත්මිකතා හා ඉන් වැළැක්වීමට ගත යුතු පියවර



පුංචි පැංචන් කියන්නේ හරිම සංවේදී පිරිසක්. ඒ නිසාම අන් අයට වඩා ඒ පැටවුන්ට විශේෂ අවධානයක් අවශ්‍ය වෙනවා. පොඩිත්තන්ගේ ප්‍රතිශක්තිකරණය වැඩුණු පුද්ගලයෙකුගේ තරම් ප්‍රබල නැති නිසා ඔවුන්ට ඉතාමත් ඉක්මනින් ලෙඩ රෝග බෝවීමේ ප්‍රවණතාව වැඩියි. ඉතින් අපි අපේ පැටියාව ආදරයෙන් ආරක්ෂා කරගන්න ඕන.මොකද එයාලට ඉක්මනින් අසාත්මිකතා ඇති වෙන්න පුළුවන්. ශරීරය දක්වන අතිසංවේදී ක්‍රියා නිසා ප්‍රතිශක්තිකරණ පද්ධතිය දක්වන ප්‍රතික්‍රියා හේතුවෙන් ආසාත්මිකතා ඇති වෙනවා. මෙය ප්‍රධාන වශයෙන් ආකාර දෙකක් යටතේ සිදු වෙනවා

·         ආහාර මඟින්
·         බාහිර පරිසරය මගින්

මේ අතරින් පුංචි පැංචියන්ට වැඩි වශයෙන් ආසාත්මිකතා ඇති වෙන්නේ ආහාර හා සබැඳි හේතු සාධකයන් නිසා. මව් කුසෙන් එළිය දුටු දරුවෙකු මාස 6ක කාල සීමාව දක්වා ප්‍රධාන ආහාරය වන්නේ මව් කිරි. මේ කාල සීමාව තුලදී නම් ආසාත්මිකතා ඇතිවීමේ ප්‍රවණතාවය ගොඩක් අඩුයි. ඒත් මාස හයෙන් පසුව අපි දරුවාට නව ආහාර රටාවන් හදුන්වා දෙනවා.මෙහිදී පුංචි පැටියාට ලබාදෙන ආහාර පිළිබඳ විශේෂ සැලකිල්ලක් දක්වන්නට ඕන. මවක් තම දරුවාට ඇති වෙන්න පුළුවන් ආසාත්මිකතා පිළිබඳව වගේම ඉන් වැළැක්වීමට ගත යුතු පියවර පිළිබඳව දැනුවත් වීම වඩා වැදගත්.




දරුවාගේ නිරෝගී කම රැඳිලා තියෙන්නේ අම්මා මත. මාස හයකින් පසුව පැටියට ලබාදිය යුතු ලබා දිය යුතු ආහාර පිළිබඳව මව විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන. මොකද අපි පැටියාට ලබා දෙන්නේ ඔවුන් මින් පෙර රස නොවිඳි අහාරයන්. පුංචි පැටියාට සමහර වෙලාවට මෙම ආහාර කුසට දරා ගැනීමට තරම් ශක්තියක් නැති වෙන්න පුළුවන්. ඒ නිසා ආහාර හඳුන්වාදීමේ මුල් අවධියේ දී වෛද්‍යවරුන් අනුමත කරන්නේ දරුවන්ට බෙරි බත ලබාදීමයි. මේ සඳහා බොහෝවිට ශාකමය පෝෂ පදාර්ථ ඇතුළත් කිරීම බොහොම වැදගත් වෙනවා. ඒ වගේ ම නව ආහාර හඳුන්වාදීමේ දී, දිනකට එක් අලුත් ආහාරය බැගින් දරුවාට ලබාදෙන්න මව්වරුන් සැලකිලිමත් වෙන්න ඕන. මොකද දරුවාට යම් ආසාත්මිකතාවක් ඇති වුවහොත් ඒ සඳහා හේතු වූ සාධකය හොයා ගැනීම පහසුයි. දිනකට නව ආහාර කිහිපයක් ලබාදීම තුළින් දරුවාට ආසාත්මිකතාවයන් ඇති වීමට බලපාන හේතුවූ ආහාර වර්ගය සොයා ගැනීම අපහසු වෙනවා. ඒ වගේම මුල් අවධියේදී සත්ව ආහාර ලබාදීමෙන් වැළකී සිටීම ඉතාමත්ම වැදගත්. මොකද සත්ව ආහාර ලබාදීමෙන් වැළකී සිටීමට ඉතාමත්ම වැදගත්. සත්ව ආහාර වල ප්‍රෝටීන් තුළින් ඇති විය හැකි ආසාත්මිකතාවය බහුල වන නිසා, පොඩිත්තන්ගේ ආහාර වේල සඳහා මාළු එක් කිරීමට මාස 8න් ද  බිත්තර එක් කිරීම මාස 9න් පසුව ද සිදු කිරීම වඩා යහපත් වෙනවා. මෙය අනිවාර්යෙන්ම නීතිය නොවුනද පැටියාගේ නිරෝගිකමට ගොඩක් වැදගත්. ආහාර මගින් ඇතිවිය හැකි ආසාත්මිකතා අනුව කාණ්ඩ කිහිපයකි,



  •  කිරි                                   
  •  මස් වර්ග 
  • මාළු
  • ඇට වර්ග (රටකජු /කජු)
  •  බිත්තර



යන ආහාර කාණ්ඩයන්ගෙන් ආහාර ලබාදීමේදී ගොඩක් ගරු ප්‍රවේශම් වෙන්න ඕන. අහාර මගින් ඇතිවිය හැකි ආසාත්මිකතා වල මූලික ලක්ෂණය වන්නේ සිරුරෙහි පලු මතුවීම සහ එම පලු කැසීමයි. එමෙන්ම එළකිරි වැනි දියරමය ආහාර මගින් පුංචි පැටියට ඇතිවන ආසාත්මිකතා නිසා ආහාර වර්ධනයට ද විවිධ බලපෑම් එල්ලවෙන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් බඩවැල් සඳහා බලපෑම් සිදුවෙනවා. වමනය ඇතිවීම බඩ ඉදිමීම වැනි රෝග ලක්ෂණයන් මෙහිදී පෙන්නුම් කරනවා. මෙවැනි අවස්ථාවකදී හැකි ඉක්මනින් දරුවා රෝහල්ගත කිරීම සිදු කළ යුතුය.






ආහාර මගින් ඇතිවන ආසාත්මිකතා මගින් දරුවාට විවිධ අපහසුතා ඇතිවන ඇතිවෙන්න පුළුවන්. එම නිසා පැටියාට ආහාර ලබාදීමේදී වඩාත් සැලකිලිමත් වෙන්න ඕන. ආහාර මගින් ඇතිවන ආසාත්මිකතා මගහරවා ගැනීම සඳහා හොඳම පියවර වෙන්නෙ වසර දෙකක් ගතවන තුරු දරුවන් සඳහා මවුකිරි ලබා දීමයි. මව් කිරි දරුවාගේ බොහෝ ගැටළු සඳහා පිළිතුරකි. පැටියාගේ නිරෝගීකම සුරකින ප්‍රධාන සාධකයක් වන්නේ මෙයයි.
කුඩා දරුවකු වෙත ආහාර මගින් ඇතිවන ආසාත්මිකතාවයන්ට අමතරව තවත් හේතූන් මත ආසාත්මිකතා ඇති වෙන්න පුලුවන්. එනම් දරුවන් සඳහා ලබාදෙන ප්‍රතිජීවක ඖෂධ ඇතුළු වෙනත් රෝගයන් සඳහා ලබාදෙන ඖෂධ. ඇතැම් දරුවන් ඇමොක්සලීන්, පෙනිසිලින් වැනි ඖෂධ සඳහා ආසාත්මිකතා ලක්ෂණ පෙන්නුම් කරනවා. එවැනි අවස්තාවකදී සාමාන්‍ය අසාත්මිකතාවයක් පෙන්නුම් කරන සිරුරෙහි පලු ඇතිවීම වැනි ලක්ෂණ ඇතිවෙනවා. ඇතැම්විට මෙය අධි ආසාත්මිකතාවක් දක්වා වර්ධනය වීමේ අවදානමක් තියෙනවා. ආසාත්මිකතාවයක් ඇති වුවහොත් මුඛය වටා රතු පැහැ ගැන්වීම, ඉදිමීම සිදුවිය හැකියි. මෙවැනි අවස්ථාවක වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කිරීම ඉතාමත් වැදගත්. සාමාන්‍ය වශයෙන් ඇතිවිය හැකි ආසාත්මිකතාවයන් ඇතැම් විට ඇතැම් විට කෙටි කලකින් සුව විය හැකියි. යම් හේතු මත ප්‍රබල ලෙස දරුවෙකු ආසාත්මිකතාවයක් ඇති වුවහොත් එමගින් අනිසි බලපෑම් ඇති වීමේ හැකියාව ඇති අංශ කිහිපයක් පවතිනවා.

·         හෘද වස්තුව හා රුධිරවාහිනී පද්ධතිය.
·         ස්වසන ස්වසන පද්ධතිය
·         ආහාර මාර්ගය

හෘද වස්තුවට ආසාත්මිකතාවයක් නිසා බලපෑමක් ඇති වුවහොත් කුඩා දරුවාගේ රුධිර වාහිනී ගමනාගමනය දුර්වල වෙන්න පුළුවන්. එසේ සිදු වෙන්නේ අධි ආසාත්මිකතාවයන් නිසා ඇතිවන රසායනික ද්‍රව්‍යයන් හි බලපෑම නිසා රුධිර වාහිනී ඉපිල් වීමෙනි.ඒ මත රුධිරය ගමන් කිරීමේ වේගය අවම වෙනවා. මෙවැනි අවස්ථාවන්හි බාහිරින් හඳුනාගත හැකි ලක්ෂණය වෙන්නේ සිරුර සුදුමැලි වීම හා ක්ලාන්ත ගතියක් ඇති වීමයි. මොළයට සිදුවන ලේ ගමනා ගමනය අවම වීම නිසා පැටියට සිහිසුන් ගතියක් ඇති වෙන්න පුළුවන්. මේ වගේ අවස්ථාවක දී මව වඩාත් අවධානයෙන් යුක්තව කටයුතු කිරීම හරිම වැදගත්.


ස්වසන මාර්ගය ආශ්‍රිතව මෙවැනි ගැටලු තත්ත්වයක් ඇති වුවහොත් ස්වසන මාර්ගයේ අවහිරතා ඇති වෙන්න පුළුවන්. එම හේතුව නිසා ස්වසන මාර්ගයේ සෙම පිරී හුස්ම ගැනීමේ අපහසුතා මෙන්ම දරුවා හුස්ම ගැනීමේදී යම් හඬක් පිට වීම පවා සිදුවෙන්න පුළුවන්.

ඇතැම් වෛරස් රෝගයන් සඳහා දරුවන් ආසාත්මිකතාවයන් පෙන්නුම් කරන්න පුළුවන්. වෛරස් රෝගයක් දරුවාට වැළඳුණු අවස්ථාවකදී සමහර අවස්ථාවක ශරීරයේ පලු මතුවීම ආදිය සිදු වෙන්න පුළුවන්.
දෙබරුන් සහ බඹරුන් බඹරුන් ආදී සතුන් දෂ්ඨ කිරීම මගින් ඇතිවන ආසාත්මිකතා

වැඩිහිටියන්ට මෙන් පුංචි පැටවුන්ට දරාගැනීමේ ශක්තිය ටිකක් අඩුයි. හරි ඉක්මනින් ලෙඩ රෝග ඇති වෙන්න පුළුවන් ඉතින් අපි ගොඩක් අපේ පැටියා ගැන සැලකිලිමත් වෙන්න ඕන ආසාත්මිකතාවයන් අධි ආසාත්මිකතාවයන් බවට පත් වුවහොත් ඇතිවන ප්‍රතිඵලය භයානකයි.

Thursday 26 July 2018

දෙවියන් පුදන සුන්දර මානැල්ල



 සොබා දහම කියන්නේ මානවයාගේ විඩාවට කාන්සියට හොඳම දිව ඔසුවක්. අපේ මේ පුංචි මුතු ඇටය සොබාදහමේ අපූරු බලවේග බොහෝමයකට ජීවය ලබා දෙනවා. ඒ වගේම අරුම පුදුම බලවේග තියෙන තැනකට තමයි අදත් අපි යන්නෙ. සතර කෝරලය කියන්නේ සෞන්දර්ය වගේම පෞරාණික වශයෙනුත් ස්ථාන රාශියකටම සෙවන සපයන ප්‍රදේශයක්. ඉතින් අද අපේ ගමනාන්තය උනේ සතර කෝරළයේ තරමක් උස දිය ඇලිවලින් එකක්. මීටර් 20ක් පමණ උස මෙම දිය ඇල්ල නමින් මානැල්ල. ඒ තරම් ප්‍රසිද්ධියක් නැතත් සොබාදහමේ අපූරු නිර්මාණයක් වුන මෙම දිය කොමලිය බොහෝ දෙනෙකුගේ නෙත් පැහැර ගන්න සමත් වෙලා තියෙනවා.

පින්දෙනිය පොලිස් වසමට අයත් වරකාපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පැල්පිට නම් ගම්මානයේ තමයි මෙම පුංචි දිය කොමලිය පිහිටලා තියෙන්නේ. සල්ගල ආරණ්‍ය ආරම්භ වන පුංචි දියපහර පැල්පිට ගම්මානයට පැමිණෙන්නේ විශාල ජල කඳක් වගේම නෙත් වශීකරන සුන්දරත්වය කුත් කැන්දාගෙන.


බොහෝ දෙනෙක් මෙය කුමරියගේ සුන්දරත්වය වර්ණනා කළත් මගේ දෙනෙත් ඉදිරිපිට ම එය ප්‍රත්‍යක්ෂ කර ගැනීමටයි මට නම් සිත පැවසුවේ. එමනිසා විවේකී සවස් යාමයේ දී යාමයේදී දිය කුමරිය වෙත යාමට අපි තීරණය කළා. වාහනය මග නතර කළ අපි ගම්වැසියකුගෙන් ලද මාර්ග සලකුණු ඔස්සේ අපි දිය කොමලිය වෙත ගමන ආරම්භ කළේ කොමලියගේ සංගීතය රාවයටත් කන් දෙමින්. වර්ෂාව සහිත කාලයක් නිසා අපි අඩිපාර දිගේ ගියේ හරි පරිස්සමෙන් මොකද මාර්ගය ටිකක් ලිස්සනවා. කූඩැල්ලන්ගෙ කරදරයත් අපේ ගමන ටිකක් පමා කළා. කොහොමහරි ගමනාන්තය කරා ළඟා වුණා. මගේ නෙත් අදහා ගන්න බැරි වුනා. හොර රහසේම ගලා බසින මාන ඇල්ල දිය කොමලිය ඒ තරම් සුන්දරයි.
 

ගල් පර දිය සෙවෙල් බැඳිලා නිසා ලිස්සනවා. අපි හරි පරිස්සමෙන් තමයි ඇල්ල අසලට ගියේ. රාස්සිගේ අව්ව වැටිලා ඇල්ල තවත් ලස්සනයි. හරියටම නිළියක් වගේ. පෙණපිඩු විසිරුවමින් ඇදහැලෙන ඇල්ල අසල අපි විඩා නිවා දැමුවේ තේ පැන් සංග්‍රහයක් ද භුක්ති විඳිමින්. මෙම දිය කොමලිය ඉහළ මානල මානැල්ල සහ පහල මානල්ල වශයෙන් කොටස් දෙකක් ඔස්සේ තමයි ඇද හැලෙන්නේ. මෙම දිය කුමරිය ආශ්‍රිතව අපේ ඉතිහාසයේ බොහෝ ජනප්‍රවාදයන් බැඳිලා තියෙනවා. ඉතිහාසය වෙනස් කළ ශ්‍රේෂ්ඨ නිරිඳකු වන වළගම්බා රජතුමා මේ ආශ්‍රිතව සැඟවී සිටියා වගේ ම එතුමන්ගේ සේනා සංවිධානය කිරීමේ කාර්යයන්ද මේ ආශ්‍රිතව සිදු කරලා තියෙනවා කියලා තමයි තමයි ප්‍රදේශවාසීන් සඳහන් කළේ. ඒ වගේම මෙය ගම්වැසියන් තුළ තවත් ප්‍රබල විශ්වාසයක් තියෙනවා, ඒ තමයි මානැල්ල දෙවියන් මෙම දිය කොමලියට අරක්ගෙන ඇති බව. ඒ බව අපට සඳහන් කළේ ජනක රාජපක්ෂ මහතා මේ ප්‍රදේශයේ නිවෙස් වල  මාන දෙවියන් සඳහා වෙනම පහනක් තබන බවයි එතුමන් වැඩිදුරටත් සඳහන් කළේ. බාරහභාර හාර පුද පූජා ද මාන දෙවියන් උදෙසා සිදුකරනු ලබන්නේ අපරිමිත භක්තියෙන් වගේම විශ්වාසයෙනි. ඒ වගේම මෙම ඇල්ල ආශ්‍රිතව නිදානයක්  තියෙනවා කියලත් මතයක් තියෙනවා. ජනප්‍රවාදයේ සඳහන් මෙම කරුණු සාධනය කර ගන්නටත් ඔවුන්ට විවිධ සාක්ෂි තියෙනවා. වර්ෂාව නොමැති කාලයේ දී මානැල්ල දිය කොමලිය මධ්‍යයෙහි පිරිත් මණ්ඩපයක් සාදා පිරිත් කීම ගම් වැසියන්ගේ සිරිත. පිරිත් අවසාන වනවාත් සමගම මණ්ඩපය ගසාගෙන යන්නට වර්ෂාව ඇද හැලෙන බව ඔවුන් සඳහන් කළේ ඔවුන්ගේ අත්දැකීමක් ලෙසටයි. අපි මේ දිය කොමලිය වෙත ගියේ වර්ෂාව සහිත කාලයක නිසා ජලය කඳ ටිකක් සැරයි. දිය කොමලිය වෙත පැමිණෙන අපරික්ෂාකාරී ලෙස හැසිරුණු බොහෝ දෙනෙක් දිය කොමලියට බිලි වී තිබෙනවා. එම නිසා මෙම සුන්දරත්වය තුළ  සැඟවී තිබෙන ඛේදජනක සිදුවීම් ගැනත් ඔබ දැනුවත් විය යුතුයි. එසේ නොමැති නොමැතිනම් ඔබගේ සතුටටත් මේ දිය කොමලිය සමඟ සැඟවෙන්නට පුළුවන්. එම නිසා ඔබගේ ආරක්ෂාව සලසා ගන්නට ද අමතක කරන්න එපා.



Wednesday 25 July 2018

ආදි මානවයාගේ නිජබිමක් වූ දොරවක ලෙන


අතීතය දෙස බලලා තමයි අපි අපේ අනාගතය නිර්මාණය කරගන්නේ. ශ්‍රී ලාංකිකයෝ වන අපට හරි අපූරු ශක්තිමත් ඉතිහාසයක් තියෙනවා. ඉතින් අනාගතය ගොඩනඟා ගන්න අපට අතීතයට යන්නම වෙනවා. ඒ නිසාම අතීතයේ සුන්දර මතකයන් ගොන්නක් කරපින්නා ගත් ඓතිහාසික වැදගත්කමක් ඇති ස්ථානයකට අපි අද යන්න හිතුව. බෙලිගල් කෝරළයේ කීරවැලි පත්තුවට අයත් දොරවක ලෙන නැතිනම් ඇතුබැඳි ලෙන කියන්නේ සුන්දර මතකයන් රැසක් කැටි කොටගත් කොට ගත් ඓතිහාසික ස්ථානයක්. මේ දොරවක කියන ග්‍රාමය ඓතිහාසික පුරවරයක්. වරකාපොල සිට අගුරුවැල්ල අඟුරුවැල්ල මාර්ගයේ කිලෝමීටර් 4ක් පමණ ගමන් කළ පසු හමුවන තල්ලියද්ද හන්දියෙන් වම් දෙසට ඇති මාදෙනිය මාර්ගයේ කිලෝමීටර් තුනක් පමණ ගියාම තමයි අපට මේ දොරවකලෙන හමු වුනේ.



උදෑසන හිරු කිරණ පොළොව සිප ගන්නවත් සමගම තමයි අපි ගමනාන්තය කරා ළඟා වුණේ. වාහනයකින් ලෙන ආසන්නයටම යන්න අපහසුයි. ඒ නිසා දෙපා වාරුවෙන් තමයි අපට ගමන අවසන් කරන්න සිද්ධ වුණේ. මේ ගම්මානය ගැන වගේම ලෙන ගෙන අති ජනප්‍රවාදයන්හී මතකය අවදි කරමින් ගමන් කරපු නිසාද මන්දා වැඩි මහන්සියක් දැනුනේ නෑ. එහෙත් ගමන ටිකක් විතර දුෂ්කරයි. රබර් වත්තක් මැදින් වැටිල තියෙන පුංචි අඩිපාරත් ටිකක් විතර ලිස්සනවා. ඒ නිසා පරිස්සමෙන් තමයි යන්න ඕන.

ගමනාන්තය කරා ළඟා වුණ අපට දැකගත හැකි වූයේ නිසංසල රබර් වත්තක් මැද විරාජමානව තිබෙන ගල්ලෙනයි. කුරුල්ලන්ගේ කිචිබිචිය ගසට ගස් ඇතිල්ලෙන සර සර හඬත් ඇරෙන්න වෙන කිසිම ශබ්දයක් නෑ. අඩි 55 ක් පමණ උසැති දැවැන්ත ගල් දෙකක් එකිනෙකා වැළඳගැනීමෙන් තමයි මේ ලෙන නිර්මාණය වෙලා තියෙන්නේ. අනෙක් තැන්වලට වඩා මෙය විශේෂ වන්නේ ද මෙහි ඇති හැඩය නිසා. ආදි මානවයා මෙම ඇතුබැඳි ලෙන තම වාසස්ථානය කොට ගෙන ජීවත් වූ බවට බොහෝමයක් පුරාවිද්‍යාත්මක කැණීම් වලින් හමු වෙලා තියෙනවා. මේ ලෙන ඇතුබැඳි ලෙන කියලා කියල හඳුන්වන්න පාදක වුණු විවිධ හේතු කිහිපයක්ම තිබෙනවා. ඒ අතර එක් මතයක් වන්නේ ආදි මානවයා විසින් සලකුණු කරන ලද රූප සටහන් අතර ඇති ඇතකුගේ රූප සටහනක් මෙහි තිබීමයි. ඒ නිසා එය ඇති බැඳගෙන ඇති බැඳගෙන නමින් ප්‍රසිද්ධ වුණා කියලා එක් මතයක් තියෙනවා. තවත් මතයක් තමයි ද්‍රවිඩ ආක්‍රමණ හමුවේ සේනා සංවිධානය කිරීම සඳහා සැඟව සිටි වළගම්බා රජුගේ මංගල හස්තිරාජයා මෙම ලෙනෙහි බැඳ තිබුණු නිසා මෙය ඇතු බැඳි ලෙන නමින් ප්‍රසිද්ධ වුණා කියලා. ඒ වගේම මෙහි රහතන් වහන්සේලා වැඩ වාසය කළ බවට ද මතයක් තියනවා.


මෙම ලෙන අවට ඇති කළු දිය පොකුණ, උමං මාලිගය, සෝමා ලෙන, වලගම්බා රජු මෙහි වාසය කළ බවට සාක්ෂි දරනවා. මෙම කළු කළු දිය පොකුණේ ඉතාමත් පිරිසිදු ජලය එකල තිබුණු බවට සාධක හමු වූ අතර අද වන විට එය අභාවයට ගිහින්. ඒ වගේ රජු මෙතැන සිට සේනා සංවිධානය කරමින් ආයුධ නිපද වූ බවට මේ අවට තිබෙන යබොර පාෂාණ සාක්ෂි දරනවා.

ඒ වගේම ආදිමානවයා සතුව පැවති දියුණු සංස්කෘතියට මෙම ලෙන සාක්ෂි දරන්නේ කිසිම ලෝබකමක් නැතුවමයි. එහෙත් එහි ගිය අපගේ මුවගට නැගුනේ නම් සතුටු සිනහවක් නොවෙයි. මෙතරම් ඓතිහාසික වශයෙන් වැදගත් ස්ථානයක අගය නොදන්නා පිරිස් තාම අප අතර සිටිනවා.ගල් බිත්ති මත ආදි මානවයා විසින් සලකුණු කරන ලද සටහන් ඔවුන් විනාශකර විනාශ කර දමා ඇත්තේ සිත් පිත් නැත්තවුන් ලෙසටයි. පරිසරයක සුන්දරත්වය විඳින්නට නොහැකි ඓතිහාසික වටිනාකමක් නොදන්නා පිරිස් සිටින සමාජයක මෙවැනි දෑ සුරැකීම පරිසරයට ආදරය කරන අප සියල්ලන්ගේම යුතුකමක් වගේම වගකීමක්.


Sunday 24 June 2018

ජීවිතය දෙවන කොටස




.

පුංචි දෝණි අපේ කැදැල්ලට එක්ක ආව මුල්ම දවස, මගේ හිතට මොකක්දෝ නුහුරු ගතියක් දැනෙන්න ගත්තා. අම්මා අප්පච්චි නැති අඩුව හිත ඇතුලෙම  තද කරගෙන හිනා වෙන්න මම උත්සාහ කළා.මගේ අම්මා අප්පච්චි වුණේ ආදරණීය නිමේෂ්.කියාගන්න බැරි මොකද්දෝ දුකක් හිත ඇතුලෙ තෙරපෙනවා. මම විඳපු සැප මගේ පුංචි රෝස මලට දෙන්න බැරි වුන එක ගැන මම ගොඩක් පසුතැවිලි උනා. රෝස පාට තීන්ත ගාපු කාමරයක ලස්සන ලස්සන සුරංගනාවියන් ගෙන් කුරුලු පැටවුන්ගෙන් හැඩ කරන්නට තරම් වත්කමක් අපට තිබුණෙ නෑ.ඉතිං අපේ දෝණිට ඒ දේවල් දෙන්න තරම් අපිට ආර්ථික ශක්තියක් තිබුණෙ නැහැ.
කාමරය මැද්දෙ තිබුනෙ ඇඳ අයිනකට දාලා කාමරය ටිකත් ඉඩ පාඩු ඇති ව හදා හදාගත්තේ මම ඉස්පිරිතාලේ නවතින්න කලින්. නිමේෂ්ටත් මේ දේවල් ගැන ලොකු තේරුමක් තිබුණෙ නෑ. මටත් එහෙමයි. බෝඩිමේ ඇන්ටි තමයි අපිට ඒ දේවල් ගැන කියලා දුන්නේ.ඇන්ටිගෙ දුව පාවිච්චි කරපු පුංචි තොටිල්ල ඇය අපට දුන්නේ අපේ අගහිගකම් දැනගෙන හිටපු නිසා.අම්මා නැති අඩුව පුරවන්නට ඇන්ටිගේ ආදර වදන් සමත් වුණා උනා. අපිට බෝඩිංකාරයෝ විදිහට නෙමෙයි එයාගෙ දරුවෝ දෙදෙනෙක් විදියට තමයි ඇන්ටි අපිට සැලකුවේ. ඇන්ටි හිටියෙ තනියම නිසා එයාගේ පාලුවට තනිකමට එයා අපට ගොඩක් ලං වුනා.


දෝණි එයාගේ අලුත් නිවහනට  එද්දිත් එයා හිටියේ සැප නින්දක.අනේ ඒ මූණ මම, පොඩි කාලේ කාලේ වගේමයි.හිතට දැනුණු ඒ හැඟීම හරිම අමුතුයි. මට දෝණිව තොටිල්ලෙන් තියන්න හිතුනෙම නෑ. දෙවියනේ අම්මා කෙනෙක් දරුවෙකුට කොච්චර ආදරේද කියලා මට හොඳට දැනුනේ දෝණි මගේ තුරුලට ආව මුල්ම දවසේ. ඒ විදින වේදනාව මේ ලෝකේ අම්මා කෙනෙක්ට හැර වෙන කාටවත්ම විද දරාගන්න ගන්න බැහැ.හරිම පරිස්සමෙන් දෝණිව තොටිලි තියලා ඇහැ පිය ගහන්නේ නැතුව මම එයා දිහා බලාගෙන හිටියා. මට එයාගෙන් ඇස් අහකට ගන්න ලෝබ හිතුනා.
අපේ මේ අමුත්තිය බලන්න අපේ පුංචි කාමරයට මුලින්ම ආවේ බෝඩිමේ ඇන්ටි.පුංචි පුංචි මල් වැටුණු ගවුම් පොඩිති ඇන්ටි අතින්ම මහල ගෙන තිබුණා. අම්මා වගේමයි දුවත් ලස්සනයි කියලා ඇන්ටි කියද්දි  මගේ හිතට අහිංසක ආඩම්බරකමකුත් නොදැනුනාම නොවෙයි. මුල් දවස් ටිකේ නම් දෝණිගේ වැඩ ටික කරගන්න මට නුහුරුයි වගේ දැනුනා. බෝඩිමේ ඇන්ටි තමයි ඒ හැම වෙලාවකදිම මම ලග හිටියේ.නිමේෂ්ට නිවාඩු නැති නිසා හැමදාම එයාට වැඩට යන්න උනා.ගොඩක් දවස් වලට නිමේෂ්  එද්දි දෝණි නිදි.
මුල් දවස් ටිකේම කැම්පස් යන්නත් බැරි උනා. දෝණි වෙන කෙනෙක් ලග තත්පරයකටවත් තනිකරන්න මම කැමති නැහැ.  ඒ දවස් ටිකේම මග හැරුණ පාඩම්වල නෝට් මගේ හොඳම යෙහෙළියො ගෙන දුන්නේ කිසිම ලෝබ කමක් නැතිව. එයාලටත් නිවාඩුවක් ලැබුන ගමන් දෝණි  බලන්න එන්න පුරුදු වුණා .ගෙදර වැඩ ටිකක් අඩු වෙලාවට පාඩම් වැඩ වලට හිත යොමු කරන්න මම අමතක කලේ නෑ.කොහොම හරි මගේ හීනයට යනවා කියන අධිෂ්ඨානය  මගේ හිතේ හැම වෙලාවෙම තිබුණා.


දින සති ගෙවිලා දන්නෙම නැතුව දෝණිට මාස තුනකුත් ලබලා.නිමේෂ්  දැන් ස්ථිර සේවකයෙක.එයා දැන් වැඩට යන්නේ ෂිෆ්ට් එකට .ඒ නිසා මගේ වැඩ ගොඩක් පහසු වුණා. නිමේෂ් ඉන්න දවසට මම දෝණිව එයා ලග තියලා කැම්පස් යන්න පටන් ගත්තා.ඒත් ඒ ගියපු වෙලේ ඉඳන් මතක් වෙන්නේ මගේ පුංචි රෝස මල.දේශන ඉවර වුණ ගමන්ම මම දුවගෙන යන්නේ දෝණිව බලන්න තියෙන හදිස්සිය නිසාමයි.එදත් මම එක පිම්මට දුවගෙන ආවෙ දෝණි මම නැතුව අඬනවද හිත හිත. එහෙම එද්දි දැක්කේ  අපේ බෝඩින් කාමරය ළඟ වෑන් එකත් නවත්තලා තියෙනවා.මම ඒ ගැන හිතන්නෙවත් නැතිව කාමරයට එබුණෙ දෝණි කෝ බලන්න.දෙවියනේ දැකපු දේ මට අදහාගන්න බැරිවුණා.  මගේ දෙපා වාරු නෑ වගෙයි .මගෙ අප්පච්චි දෝණිව වඩාගෙන හුරතල් කරනවා. අම්මා දෝනිගෙ රෙදි බෑග් අස් කරනවා.  මොකද කරන්නේ කියලා හිතා ගන්න බැරුව ගල් ගැහිල වගේ බලාගෙන හිටියා.එතකොට තමයි කඩේට ගිය නිමේෂ් ආවේ.

අම්මගෙයි අප්පච්චිගෙයි ඇස් වල කඳුළු. මාව දැක්ක ගමන්ම අම්මා මාව බදාගෙන අඩන්න පටන් ගත්තා. අපි කොච්චර වෙලා එහෙම  හිටියද කියලා මට මතක නෑ. අම්මයි අප්පච්චි ඇවිත් හිටියේ අපිව මහ ගෙදර එක්කන් යන්න. මට මොකක්ද කරන්නේ කියලා මට හිතාගන්න බැරි වුණා. මට ආයෙත් එයාලගෙ ඇස් වලට කඳුලු දෙන්න බැරි නිසා අපි පුංචි දෝණි එක්ක මහ ගෙදර යන්න ලැහැස්ති වුනා .


මහ ගෙදර ගිය මට මගේ ඇස් අදහා ගන්න බැරි වුණා .රෝස පාට තීන්ත ගාලා ලස්සනට හැඩ කරලා තිබුණු පුංචි දෝණිගේ කාමරය හරියට දිව්‍ය ලෝකෙ කොටසක් වගේයි.අම්මා අප්පච්චි හැමදේම ලෑස්ති කරල තමයි අපිව එක්කන් යන්න ඇවිත් තිබුනේ.එක එක මෝස්තරයේ පුංචි ගවුම් ගොඩක් අම්මා එයාගේ අතින්ම දෝණිට මහලා තිබුණා. මම ගෙදරින් ගිය දවසේ අප්පච්චිට හාට් ඇටෑක් එකක් හැදිලා දවස් ගානක් ඉස්පිරිතාලේ  හිටියා කියලා කීවේ අම්මා.මං එයාලට දුන්න දුක ගැන මම අදටත් ගොඩක් පසුතැවිලි වෙනවා.


අත්තම්මයි සීයයි එක්ක පුංචි දෝණි හුරතල් වෙනකොට තමයි මට හිතුනේ අපේ පවුල සම්පූර්ණ වුණේ දැං කියලා. මට කැම්පස් යන්නත් ඕන නිසා සතියක් විතර මහ ගෙදර ඉඳලා අපි ආයේ කොළඹ එන්න හිතුවා. තාත්තා ඒ වෙද්දි මෙහෙ හැමදේම ලෑස්ති කරල තිබුනෙ.අපේ නමින් පුංචි නිවසක් අප්පච්චි කුලියට අරගෙන.අප්පච්චිගෙ යාලුවෙක්ගෙ කම්පැනි එකක නිමේෂ්ට හොඳ රැකියාවකුත් ලෑස්ති කරල තිබුනෙ. දැන් නං අපිට කිසිම කරදරයක් නෑ නිවාඩුවක් ලැබුන ගමන්ම අම්මයි අප්පච්චි දෝණි බලන්න එනවා. නිමේෂ්ගෙ පවුලේ අයත් අපි එක්ක තිබුණ අමනාපකම් දැන් අමතක කරලා. මේ හැමදේම හොඳ විදියට විසඳුනේ අපේ පුංචි දෝණිගේ වාසනාවට කියලා තමයි අපි විශ්වාස කරන්නේ.

Friday 15 June 2018

ජීවිතය






 අද නම් හරිම මහන්සියි. උදේ ඉඳන් පැටියා අඬනවා නළව ගන්නත් බැරුව. දැන් තමයි ටිකක් ඇහැ පියා ගත්තේ .චූටි පැටියා නිදා ගත්තා කියලා මට නම් විවේකයක් නෑ .මොකද කීවොත් එයා නිදි අතරේ තමයි මම ගෙදර වැඩ ටික කර කර ගන්නේ.අද නම් දෝණි නලවගන්න ටිකක් දඟලපු නිසා මහන්සි.එත් මහන්සි කියලා විවේකයක් ගන්න තරම් කාලයක් මට නෑ. මගේ ජීවිතේ ගෙවුණු කාලය දිහා හැරිලා බලද්දි මටම පුදුම හිතෙනවා දෛවයේ සරදමක් ද කියලත් .මේ වගේ ජීවිතයක් ගෙවන්න සිහිනෙන් වත් හිතපු නැති කෙනෙක් මම .මොකද කීවොත් දුක කියන දේ මම දන්නෙවත් නෑ .මගේ ජීවිතය දුක් වෙන්න හේතු මට තිබුනෙ නෑ.


මම ගොඩක් සැප විඳපු කෙනෙක් .මගේ අප්පච්චි ව්‍යාපාරිකයෙක්. ඒ නිසා අපට සල්ලි අතින් නම් අඩුවක් තිබුණෙ නැහැ. අම්මා අපි හැමෝම බලාගෙන ගෙදරට වෙලා හිටියේ. ගෙදර බාල දුව වුණ මම හැදුණෙ හුරතලේට .අක්කා බැඳලා ගෙදරින් පිට ඉන්න නිසා මම විතරයි ගෙදර හිටියෙ. ඒ නිසා මම ගොඩක් සැප පහසුව හිටියේ. අම්මාගේ අප්පච්චිගේ හුරතලේ නිසාම මම ටිකක් මුරණ්ඩුයි. ටිකක් කීවට ටිකක් මත් නෙවෙයි.මම කරපු හැම වැරැද්දකටම ගෙදරින් මට සමාවක් තිබුනා .මොකද ගෙදර හුරතලා මමනේ .ඉල්ලන පරක්කුවෙන් අප්පච්චි මට සල්ලි දෙනවා. එතකොට නම් අම්මා කීවේ අප්පච්චිගේ හුරතලේ හින්දා මම නරක් වෙනවා කියලා. ඒත් අප්පච්චි නම් අම්මගේ කීම කනකටවත් ගත්තෙ නැහැ. අම්මටත් වඩා මම ගොඩක් ලං වුනේ අප්පච්චිට

 නිමේෂ් මගේ ජිවිතයට එනකොට  මට අවුරුදු දාසයයි.අම්මාගේ අප්පච්චිගේ ආදරේ මදි නිසා නෙමෙයි මම නිමේෂ්ට  ට  ලං වුනේ. මගේ යාළුවෝ හැමෝටම වගේ එයාලගේ ජීවිතේ විශේෂ කෙනෙක් හිටියා.ඉතිං මටත් ඒ අත්දැකීම ලබන්න ආස හිතුනා. වයසෙ වැරැද්ද නේ. ඒත් මම හිතුවේ නෑ ඒ ආදරේ මාව මෙච්චර දුර අරන් එයි කියල. නිමේෂ් කියන්නේ  අපේ ගමේ සාමාන්‍ය පවුලක ළමයෙක්.එයා ඉගෙනගෙන තිබුනේ සාමාන්‍ය පෙළ දක්වා විතරයි. රස්සාවක් කලේ නැහැ. යාළුවෝ එක්ක දවස තිස්සෙම ඇවිදින එක තමයි එයාගේ රාජකාරිය වුණේ.නිමේෂ් ටිකක් දඩබ්බර කෙනෙක්. ඒ දඩබ්බරකමට මම ගොඩක් ආදරේ කළා. මට ඒ කාලේ ආදරය ගැන කිසිම තේරුමක් තිබුණෙ නෑ.අනිත් අයත් ආදරේ කරන නිසා මමත් කලා
 නිමේෂ් දඩබ්බරයෙක් වුණාට එයා හරිම හොඳයි. මගේ අප්පච්චිට තියෙන ගතිගුණ සමහරක් එයා ලග තිබුණා. ඒ නිසාමද මන්දා එයාට මම ගොඩක් ලං වුනා .


මොන දේ කළත් මම ඉගෙන ගන්නත් හරි දක්ෂයි. සාමාන්‍ය පෙළ සමත් වුණ
 මම උසස් පෙළ කලා විෂය  ධාරාව හදාරන්න තීරණය කළේ නිවේදිකාවක් වෙන්න මගේ හිතේ තිබුණු හීනය නිසා.

 අමතර පංති යන්න පටන් ගත්තහම ඉදහිට පන්ති නොයා නිමේෂ්ගේ තුරුලෙ හිටියේ හැමෝගෙම ඇස් වලට වසන් වෙලා.ඒ අතීතයට මම තවත් ආදරෙයි. මෙහෙම කාලෙ ගෙවිලා ගිහින් උසස් පෙළ විභාගයත් ළං වුණා.උදේ රෑ නැතුව මම විභාගයට මහන්සි වුණේ කැම්පස් හීනය හිතේ තියාගෙන .


මට ඒ දවස අද වගේ මතකයි. මගේ විභාග ප්‍රතිපල ආවා දවස. අම්මගේ අප්පච්චිගෙ ඇස් වල සතුටු කඳුළු පිරිලා තිබුණා. එයාලගේ  පුංචි දෝණි කැම්පස් යන්න පාස් වෙලා .හැමෝගෙම  සතුටත් අරන් කැළණි කන්ද නැගපු පලවෙනි දවසෙම ඒ සතුට සුනු විසුනු වෙලා ගියා. ජීවිතයේ ආයේ හදාගන්න බැරි ලොකු වැරැද්දක් මම  අතින් වුණේ.උදේ ඉඳන්ම බස් එකේ ආව නිසා මහන්සියට වමනේ යනවා කියලා තමයි අම්මයි අප්පච්චි කීවේ .මට නම් ඒක සැහැල්ලුවට හිතන්න බැරි වුණා.නිමේෂ් එක්ක පහුවදාම ඩොක්ට කෙනෙක් ලඟට ගියේ ඒ නිසා. දෙවියනේ ලැබුණේ ආරංචියක් එක්කම මට හිටපු තැනත් අමතක උනා. මම අම්ම කෙනෙක් වෙන්න යනවා. මට අදහගන්න බැරි වුණා.

කුසට පුංචි පැටියෙක් ,ලෝකෙ තියෙන සුන්දරම වචන ටික උනාට වුණාට අපට නම් ඒක එතරම් සුන්දර වුණේ නැහැ. මම මොකද කරන්න ඕන කියලා මටම හිතා ගන්න බැරි උනා. ගෙදර හැම තැනම දග කර කර ඇවිදපු ඒ පුංචි දෝණි අම්ම කෙනෙක් වෙන්න යනවා.අම්මයි අප්පච්චියි ඒක කොහොම දරා ගනීද.අප්පච්චිගේ ඒ ආදරණීය මුහුණ කඳුළු අතරින් මැවි මැවී  පේන්න පටන් ගත්තා. මට  නැගිට ගන්නවත් දෙපා වාරු නෑ .

දැන් කරන්න දෙයක් නැහැ .උන දේ උනා අපි මෙහෙ ඉමු, නිමේෂ් කීවේ එහෙම .දරුවට අනතුරක් නොකර එයාව රැකගන්න නිමේෂ්  ගත්ත තීරණය විතරයි මට සතුටකට කියල තිබුනෙ.

 කැලණි කැම්පස් එක ආසන්නයේ වූ පුංචි බෝඩිම් කාමරයක් කුලියට අරන් අපි ජීවත් වෙන්න තීරණය කලා.ඒ  ලඟ ගාමන්ට් එකකට වැඩට යන්න නිමේෂ්  පටන් ගත්තේ වෙන කරන්න දෙයක් නැති නිසා. පුංචි බඩකුත් උස්සගෙන  හරි පරිස්සමින් අඩි තිය තිය කැළණි කන්න මම නැග්ගේ මගේ හීනෙට යන්න පාර කපා ගන්න

 යහළු යෙහෙළියන් දඟ කරමින් නටනවා දැක්කම දුකක් නොදැනුණා නෙමෙයි
මගේ ජීවිතයේ හොඳම කාලේ. දැන් මම ගැන විතරක් නෙවෙයි මගේ පැටිය ගැනත් හිතන්න ඕන. අගහිගකම් නැතුව හැදුණු මම දැන් අගහිගකම් මැද ජීවත් වෙන හැටි ඉගෙන ගන්නවා .පුංචි කාමරයක් තිබුණේ අපට .ලාම්පුතෙල් ලිපක් තියාගෙන ඒ කාමරයේම  තමයි උයන්නෙත් .උයන්න බෑ කියල හිතුන දවසට කැම්පස් එකෙන් රුපියල් 40ක බත් එකක් අරන් ඇවිත් දෙන්නම බෙදාගෙන කනවා .ඇගට මහන්සි අමාරුයි .අම්මා අප්පච්චි නිතරම මතක් වෙනවා. ඒත් එයාලා මාව පිළිගන්න ලෑස්ති වෙලා නෙමෙයි හිටියෙ. මට හැමදේටම හිටියේ නිමේෂ්  විතරයි.නිමේෂගේ පවුලේ අයත් අපි එක්ක  අමනාපෙන් හිටියෙ.ජීවිතේ කියන්නේ මොකක්ද කියලා දැන් තමයි මට තේරෙන්නේ .අම්මා උයලා දුන්න බත් එකේ රස ගුණ හොය හොය කාපු මම අද තනියම උයනවා.


ඉගෙන ගන්න දේවලුයි ගෙදර වැඩයි අස්සේ මගේ පුංචි දෝණිට ලස්සන ලස්සන ඇඳුම් මහන්නත් මම පටන් ගත්තා. දැන් මගේ මුළු ලෝකෙම එයා වෙලා. මටත් හරි පුදුමයි. දින සති මාස ගෙවිලා මගේ දෝනි දැන් ගොඩක් ලොකු වෙලා. අම්මගෙ තුරුලට එන්න දැන් ළඟයි. වෙලාවකට අම්මිට සැර කරලා බණ්ඩියට පුංචි පාරකුත් දෙනවා .ඒත් මම හරි ආදරෙන් ඒ දේවල් දරා ගත්තේ.


මගේ බන්ඩිය දැන් ගොඩක් ලොකුයි .වෙලාවකට කැම්පස් යන්නත් ලැජ්ජා හිතෙනවා. අනිත් අය මං ගැන මොනවා කියනවා  ඇත්ද කියල හිතෙනවා.ඒත් මගේ දෝනි නිසා මම ඒ හැමදේම ඉවසුවා. මගේ යෙහෙළියන්  නම් මාව හරි ආදරයෙන් බලා ගත්තා.  අම්මාගේ රැකවරණය නොතිබුන මට එයාලගේ ආදරය මහමෙරක් .මෙහෙම කාලය ගිහින් මගේ දෝනි මම මම ළඟට එන්න කාලෙත් හරි.

 මේ කාලෙ වෙද්දි ගෑණු ළමයෙක් ඉන්න් ඕන එයාගේ අම්මා ලග.ඒත් මට ඒ පින තිබුනේ නෑ.අම්මා අප්පච්චි මතක් වුණත් මට එයාලා ලගට යන්න ශක්තියක් තිබුනේ නෑ.

මම ඉස්පිරිතාලෙ නවත්තපු දවසේ හොදටම බය වෙලා හිටියේ.නිමේෂුත් කලබල වෙලා.කොහොමහරි පෙරුම් පුරලා ඒ පුංචි රෝස මල අපි ලගට ආවා.මගේ පුංචි සුරනගනාවි,මම හරි ආදරෙන් නලල සිප ගත්තා.

Thursday 14 June 2018

ආදි මානවයා සොයා බෙලි ලෙනට ගිය සුන්දර ගමන




කිතුල්ගල කීවොත් අපි හැමෝගෙම මතකයට එන්නේ හිතුවක්කාර ජල තරංග සමග ගැටෙන අපූරු මානව අත්දැකීම් .සීතල දේශගුණය වගේම කදු පන්ති වලින් වටවෙලා තියෙන මේ සුන්දර ඉසව්වට අපි පිය මැන්නේ වෙනස්ම අත්දැකීමක් ලබා ගන්නත් එක්කමයි.ඒත් අපේ ප්‍රධාන අරමුණ වුණේ ඒක නෙමෙයි.අපේ ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයක් මේ ඉසව්ව කේන්ද්‍ර කොටගෙන නිර්මාණය වෙලා තියෙනවා .ඒ තමයි අදින් වසර 25 000 ට පෙර අපේ මානවයාට සෙවණ දුන් සුන්දර බෙලිලෙන.කිතුල්ගල නගරයේ ඉදන් හැටන් දෙසට ගමන් කොට යාහින්ද මං සංධියෙන් වම් දෙසට ඇති මාර්ගයේ ගමන් කල අපට හමු වූයේ විශාල රබර් වත්තක්.අපි යද්දිත් ටිකක් විතර හවස් වෙලා තිබුනේ .බෙලිලෙන ආසන්නයටම වාහනයකින් යන්න අමාරුයි .බෙලිලෙන පාමුල ඇති දමිළ ගම්මානයට පැමිණි අපි වාහනය එතන නතරකොට ඉතිරි කිලෝමීටර් 1.5 ඉක්මන් අඩි තබමින් යන්න පටන් ගත්තෙ ඇදිරි වැටෙන්න කලින් ආපසු එන්න ඕන නිසා .



ගමනාන්තය කරා ලගා වුණ අපට දක්නට ලැබුණේ විශාල ලෙන් ත්‍රිත්වයක්.පුරාවිද්‍යාත්මක කැනීම් සිදු කොට ඇති බවට සළකුණු බොහොමයි.මේ කැනීම් වලින් අපේ ආදි මානවයාගේ තතු විශාල ලෙස හෙලි කරගන්න හැකි වෙලා තියෙනවා .වසර 25 000 පෙර මානවයන් මෙහි සිටි බවට ස්ථිර සාක්ෂි ලෙස මානව ඇට සැකිලි බොහොමයක් බෙලිලෙන ආශ්‍රිතව සොයාගෙන තියෙනවා .මෙහි මිනී වළවල් නොතිබූ අතර ලෙන් බිම යන්තමට හාරා ඒ මත මිනි තැන්පත් කොට ඇත.


ආදි මානවයා ගත කල සරල ජීවිතය පිළිබඳ මේ ලෙන සාක්ෂි දරා සිටින්නේ හරි අපූරු ආකාරයටයි.එකල භාවිතා කළා යැයි විශ්වාස කළ හැකි කුඩා ගල් ආයුධ වලින් පසක් වෙන්නේ එකල මානවයා ගත කල දඩයම් ජීවිකාව ගැනයි.ඒ වගේම සත්ත්ව ඇට කටු වලින් තනා ගත් ආයුධ ද මානවයාගේ දිවි පැවැත්මට සහය වූ බවට සාක්ෂි එමටයි.අලියන්,වදුරන්,මුවන්,ගෝනුන් වගේම මී හරකුන් වැනි සත්ත්වයන්ගේ අස්ථි කොටස් වලින් මෙම ආයුධ තනාගෙන ඇති බවට පුරාවිද්‍යාත්මක කැනීම් වලින් හදුනාගෙන තියෙනවා.

ඒ වගේම එකල මානවයා සතුව පැවති රසකාමිත්වය පිළිබද මේ ලෙම සාක්ෂි දරන්නේ කිසිම ලෝබකමක් නැතිවමයි.පබලු වලින් ශරීරය අලංකාර කොටගෙන පාට තනා ශරීරය වර්ණ ගන්වාගෙන සිටි බවට සාධක හමුවෙලා තියෙනවා.ගුරුගල් අඹරන ලද ගල් ආදිය මේ සදහා සාක්ෂි දරන්නේ අපිවත් අතීතයට කැන්දගෙන යමින්.

බෙලිලෙන් මානවයා එක් තැනකට පමණක් සීමා නොවී තම අවශ්‍යතා මත රට පුරා සැරි සැරූ බවට විවිධ සාධක එමටයි.ඒ බව ලෙන ආශිතව හමු වෙලා තියෙන මුහුදු ලුණු හි අඩංගු බෙලිකටු වලින් පසක් වෙනවා.

ස්වාභාව ධර්මයේ අපූරු නිමැවුමක් වන මේ ලෙන මුහුණතින් අපූරුවට කඩා හැලෙන සිහින් දිය ඇල්ල අපේ නෙත් පැහැර ගත්තේ අපටත් නොදැනීමයි.මේ ඇල්ල පතිත වන ස්ථානයේ සුමටව නිමැවුණ අපූරු ගල් තලාවක් තියෙනවා .එය දිය නෑම සදහා සොබාදම් මෑණියන් නිර්මාණය කොට ඇති විශිෂ්ඨ නිර්මාණයක් වගෙයි.

වෙලාව යනවා දැනුනේවත් නැහැ.හිරු අහසේ ගිලිලා.අන්ධකාරය පරිසරය අරක්ගෙන .අපි අරන් ගිය පුංචි ලන්තෑරුම යාන්තමින් අදුර නසන්නට හැකි වුණා.දැන් ආපසු එන්න වෙලාව හරි.ආදි මානයාගේ වග තුග සොයා ගිය ගමනට මද විරාමයක් තබා අපි ආපසු එන්න පිටත් වුණා.


නැටවෙන ස්ත්‍රීත්වය






වර්තමාන ගෝලීය සංස්කෘතිය තුල දැන්වීම්කරණය ව්‍යාපාරික ඉලක්ක වෙත ගමන් කිරීම සදහා යොදා ගන්නා මූලික සාධකයක් බවට පත් වී ඇත.එය කෙතරම් ප්‍ර්‍රබල සාධකයක් වීද යත් වර්තමානයේ දැන්වීමකින් තොරව භාණ්ඩයක් අලෙවි කිරීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇත.මිනිසාගේ තෘතීය අවශ්‍යතාවයේ පටන් ද්විතීය ඒකීය අවශ්‍යතාවයන් සදහා වෙළෙඳ දැන්වීම් නිර්මාණය වන අයුරු දැන්වීම් වෙළඳපළ අධ්‍යයන කිරීමෙන් පසක් කර ගත හැකිය.තම නිශ්පාදනයන් අලෙවි කිරීම සදහා ව්‍යාපාරිකයන් සුලබ වශයෙන් යොදා ගනු ලබන්නේ මානුශීය හැගීම්ය.ඒ හරහා මිනිස් හදවත ස්පර්ශ කිරීමේ කලාව ඔවුන් හදුනාගෙන ඇත.වර්තමානයේ ගෝලිය ආර්ථිකය තුල ලාභ ලබන ව්‍යාපාර අතර හිනිපෙත්තෙහි පවතිනක් ලෙස දැන්වීම් කළාව හදුන්වාදීම අතිශයෝක්තියක් නොවේ.

දැන්වීම්කරණය හරහා මානවයාගේ ද්විතීයික තෘතීය අවශ්‍යතාවයන් පවා ඒකීයත්වයට පත්වන්නේ එහි පවතින ආකර්ෂණීයත්වය නිසාමයි.මෙහිදී දැන්වීම්කරණය පිලිබද සාකච්ඡා කිරීමේදී අමතක නොකල යුත්ත වන්නේ ලිංගිකත්වය යි.ලිංගිකත්වය ආරෝපණය කරනු ලබන මා හැගි වස්තුව වන්නේ කාන්තාවයි.දැන්වීම්කරණය සහ කාන්තාව යනු ගසට පොත්ත මෙන් අවියෝජනීය බැදී පවතින්නකි.මෙම වෙලද සංස්කෘතිය තුල ස්ත්‍රීත්වය ඉතා පහළට ඇද දමනු ලබන අතර එයට වශි වී සිටින සමාජයට එය නොවැටහෙන්නේ දැන්වීම්කරණය විසින් ඔවුන්ගේ බුද්ධි පරිධිය මොට කර ඇති නිසාවෙන් නොවෙද.

ස්ත්‍රී ලාලිත්‍ය සමග කිසි විටෙකත් එකග නොවන භාණ්ඩ අලෙවිකරණය සදහා ස්ත්‍රීය යොදා ගනු ලබන්නේ ඇයත් සමග ලිංගිකත්වය ද එයට ආරෝපණය කරමිනි.එයට කදිම නිදසුනක් ලෙස වාහන අමතර කොටස් අලෙවිය පෙන්වා දිය හැකිය.සමාජයේ වාහන සමග සබැදියාවක් පවත්වන්නේ පුරුෂන්‍ ය.එහිදී වාහන අමතර කොටස් අලෙවිකරණයේදි එයට කාන්තා ලාලිත්‍ය මෙන්ම සරාගික බව ලිංගිකත්වය ද එයට ආරෝපණය කර ඇත්තේ ගැනුම්කරුවන්ගේ චෙතසිකයන් ව්‍යාපාරිකයාට අවැසි ලෙස හසුරවා ගැනීමටයි.කාන්තාව කෙමනක් ලෙස තම අභිමතාර්ථයන් පරිපූර්ණ කර ගැනීම සදහා උපයෝගි කොට ඇත.ඇය සමග සෑම විටම සරාගි බව බද්ද කොට ඇත්තේ ගැනුම්කරු තුල කිසියම් ආකාරයකට ලිංගික උද්දීපනයක් ඇති කිරීම සදහාය.

එංගලන්තය ඇමරිකාව ආදි යුරෝපිය රටවල ලිංගිකත්වය හුදු රසයක් නොවේ.ඔවුන් තම භාණ්ඩ අලෙවිකරණ සදහා නිරුවත් අඩ නිරුවත් කාන්තාව යොදා ගන්නේ සාමාන්‍යකරණය වූ සිද්ධියක් ලෙසටයි.ඒ හරහා ලිංගික ආකර්ෂණයක් ඇති කරවීමට ව්‍යාපාරිකයන් උත්සාහ කරනු ලබන්නේ ගෝලිය සමාජය තුල පරිහානික ලක්ෂණ ද පෙන්නුම් කරමිනි.ආගමික සංස්කෘතික සමාජීය කරුණු පදනම් කොට ගනිමින් කාන්තාව යම් බන්ධනයට නතු කලද ව්‍යාපාරික ලෝකය තුල එම බන්ධනයන් සියල්ල අහෝසි වි ගොසිනි.භාණ්ඩ අලෙවිකරණයකට වඩා කාන්තා අග පසග වර්තමාන ව්‍යාපාරික ලෝකය තුල අලෙවිකරණයට ලක් වන බව නොරහසකි .ඒ හරහා ස්ත්‍රීතවය කොයිබට ගමන් කරන්නේද යන්න කිව හැක්කේ කාටද........

බිසෝවරු තිහක් දිවි නිසාගත් අසුපිනි ඇල්ල

ගතට සිතට විවේකයක් සැනසිල්ලක් ඕන වුණාම අපි දුවගෙන යන්නෙ සොබාදම් මෑණියන්ගෙ තුරුලට. ඒ මොකද කීවොත් අපි හැමෝටම ඕන නිදහස. නිස්කලංක බව තියෙන්නෙ එතුමිය ළග.විඩාබර ජීවිතයෙන් හෙම්බත් වුණ අපි නිවා සනසාලන්නට හැකියාව තියෙන්නෙ සොබාදම් මෑණියන්ට. අපි අද ඔයාලට කියන්න යන්නෙ,  සොබාදම් මෑණියන්ගෙ තුරුලේ සෙනෙහස ලබන තවත් සුන්දර දිය ඇල්ලක් ගැනයි. දිය ඇල්ලක සිසිලස ලස්සන ව‍ගේම සමහර දියඇලි ගැන ඉතිහාස කතා ගොඩක් තියෙනවා. එහෙම හරි ලස්සන ඉතිහාස කතාවක් හංගාගෙන පහළට ඇද හැලෙන දියඇල්ලක් තමයි අසුපිනි ඇල්ල කියන්නෙ.

  අසුපිනි ඇල්ල පිහිටල තියෙන්නෙ කෑගල්ල - අරණායක උඩුවැල්ල කියන ප්‍රදේශයේ. උඩුවැල්ලේ සිට මදක් දුෂ්කර ගමනකින් පසුවයි අපිට ගමනාන්තය කරා ළගා වෙන්න සිද්ද වුණේ. පරිසරයේ අධික සීතලත් කඩින් කඩ ඇදහැලෙන වර්ෂාවත් නිසා අපිට ගමනාන්තය කරා ළගා වීමට මඳක් ප්‍රමාද වුණා. කූඩැල්ලන්ද අපේ ගමන ප්‍රමාද කිරීමට තවත් හේතුවක් වුණා.

අසුපිනි ඇල්ල පිළිබඳ හරි අපූරු ජනප්‍රවාද රැසක් තියෙනවා. නිශ්චිතවම නමක් සදහන් නැතත් එක්තරා රජ කෙනෙක් යුද්දෙට යන්න ලෑස්තිවෙලා තමන් යුද්දෙන් පැරදුනොත් තමන්ගෙ බිසෝවරුන් තිස්දෙනා සතුරන් විසින් මරා දමාවි යැයි සිතා අසුපිනි ඇල්ලට ඉහළින් ඇති ගල් ගුහාවක සඟවා තබන්නට තීරණය කළාලු.
අදටත් ‍මේ ගල් ලෙන හදුන්වන්නේ ‘තිස් කුමාරි ලෙන‘ කියලයි. බිසෝවරු 30ක් සැඟවී සිටි නිසයි එයට මේ නම ලැබිලා තියෙන්නෙ.

මේ රජතුමා යුද්දෙට යන්න කලින් බිසෝවරුන්ට කියල තියෙනවා යුද්දෙ දිනල එන අයුරු බලන්න ඇල්ල උඩ ඇති ගලට එන්න කියලා. යුද්දෙ දිනුවොත් සුදු කොඩියක්, පැරදුනොත් කළු කොඩියක් රැගෙන එන බව පවසා තිබුණා.

යුද්දෙන් දිනූ රජතුමා කොඩිය රැගෙන යාමට අණකර ඇත්තෙ හත්ගම්පල නම් ගමෙහි කොඩිකරුවාටයි.ඔහු බීමතින් සිටි නිසා සුදු කොඩිය වෙනුවට ඔසවා ඇත්තේ කළු කොඩියයි. රජතුමා යුද්දයෙන් පරාජය වූවායැයි සිතූ බිසෝවරු ඇල්ලෙන් පහළට පැන දිවි තොර කරගෙන ඇති බවයි ජනප්‍රවාදයේ සඳහන් වෙන්නෙ. පසුව මෙය දැනගත් රජතුමාද දුක උහුලාගත නොහැකිව තමා පැමිණි අසු ඇල්ලෙන් පන්නවාගෙන දිවි තොර කර ගත්තලු. අසු පැනි ඇල්ල තමයි අසුපිනි ඇල්ල නමින් ප්‍රකට වෙලා තියෙන්නෙ.

අඩි 300ක් පමණ උසින් අඩි 40ක් පමණ පළලින්ද යුතු මහල් 02ක් ඔස්සේ ඇද හැලෙන අසුපිනි ඇල්ලේ චමත්කාරය අපගේ විඩාව කොහෙදෝ දුරකට රැගෙන ගියා. මීදුමෙන් වැසීගත් කඳු පන්ති පරිසරයට අමුතු සිරියක් කැන්දගෙන ආවා. ස්වභාවික වෘක්ෂලතාවන් හා ඖෂධ පැළෑටිවලින් ගහන වූ වන ලැහැබ විවිධ පළතුරු මෙන්ම මල් වර්ගවලින් හැඩවෙලා ඉන්නෙ හරි අපූරුවටයි. කඳුකර ප්‍රෙද්ශයට පමණක් ආවේණික කුරුළු රංචු, උරඟ, සිවුපා සතුන්ගේ නිජ භූමිය වුණු  අසුපිනි ඇල්ල  අවට සුන්දර පරිසර පද්දතිය සොබාදහමේ අපූරුතම නිමැවුමක් කීවොත් මම නිවරදියි.

පුංචි පුංචි දිය කඩිති වගේම අප වට කොට නැගී සිටි යෝධ කඳු වැටි මේ පරිසර පද්ධතියේ අලංකාරය දෙගුණ තෙගුණ කරනවා. යාන්ත්‍රිකරණයේ පහස නොලැබූ අසුපිනි ඇල්ල තවමත් නොඉඳුල් පරිසර පද්දතියක්.ඒ පරිසර පද්දතියට අළුත් කිසිම දෙයක් අවශ්‍ය නෑ. ඒ නිසා අප රැගෙන යන සියල්ලම අප රැගෙන ඒමට අමතක කරන්න එපා. ඉතින් ඔයාලත් එන්න ඇවිත් බලන්න සුන්දරත්වය විඳගන්න. පා සටහන් පමනක් ඉතිරි කර මතකයන් පමණක් රැගෙන යන්න.

එක දිගටම පැය ගාණක්-ඔය මූණම බලන් ඉන්න..
මක් වෙලාද මේ ඔයාට-ඔයා කියන හැටි අහන්න..
ලැජ්ජාවට ඔය සදකැන් බිමට වැටෙන හැටි බලන්න..
මගේ මැණිකෙ මන් ආසයි-ඉස්සර වගෙ හිනා වෙන්න..........

මගේ ලගින් ඔයා එක්ක-හැන්දෑවක් තියා ගන්න
නුහුරු අතේ ඇගිලි තදට- මගෙ සුරතින් අල්ල ගන්න...
උරහිස්සට බර වුනු නුඹෙ- හිස තදේට මට සිඹින්න..
එදා වගේ එක මොහොතක්-ආසයි මට ලගට එන්න...

උපන්දා සිට අවුරුදු දෙක දක්වා දරුවෙකුට ඇතිවිය හැකි ආසාත්මිකතා හා ඉන් වැළැක්වීමට ගත යුතු පියවර

පුංචි පැංචන් කියන්නේ හරිම සංවේදී පිරිසක් . ඒ නිසාම අන් අයට වඩා ඒ පැටවුන්ට විශේෂ අවධානයක් අවශ්‍ය වෙනවා . පොඩිත්තන්ගේ ප්‍රතිශක්තිකරණය වැ...