Thursday 14 June 2018

බිසෝවරු තිහක් දිවි නිසාගත් අසුපිනි ඇල්ල

ගතට සිතට විවේකයක් සැනසිල්ලක් ඕන වුණාම අපි දුවගෙන යන්නෙ සොබාදම් මෑණියන්ගෙ තුරුලට. ඒ මොකද කීවොත් අපි හැමෝටම ඕන නිදහස. නිස්කලංක බව තියෙන්නෙ එතුමිය ළග.විඩාබර ජීවිතයෙන් හෙම්බත් වුණ අපි නිවා සනසාලන්නට හැකියාව තියෙන්නෙ සොබාදම් මෑණියන්ට. අපි අද ඔයාලට කියන්න යන්නෙ,  සොබාදම් මෑණියන්ගෙ තුරුලේ සෙනෙහස ලබන තවත් සුන්දර දිය ඇල්ලක් ගැනයි. දිය ඇල්ලක සිසිලස ලස්සන ව‍ගේම සමහර දියඇලි ගැන ඉතිහාස කතා ගොඩක් තියෙනවා. එහෙම හරි ලස්සන ඉතිහාස කතාවක් හංගාගෙන පහළට ඇද හැලෙන දියඇල්ලක් තමයි අසුපිනි ඇල්ල කියන්නෙ.

  අසුපිනි ඇල්ල පිහිටල තියෙන්නෙ කෑගල්ල - අරණායක උඩුවැල්ල කියන ප්‍රදේශයේ. උඩුවැල්ලේ සිට මදක් දුෂ්කර ගමනකින් පසුවයි අපිට ගමනාන්තය කරා ළගා වෙන්න සිද්ද වුණේ. පරිසරයේ අධික සීතලත් කඩින් කඩ ඇදහැලෙන වර්ෂාවත් නිසා අපිට ගමනාන්තය කරා ළගා වීමට මඳක් ප්‍රමාද වුණා. කූඩැල්ලන්ද අපේ ගමන ප්‍රමාද කිරීමට තවත් හේතුවක් වුණා.

අසුපිනි ඇල්ල පිළිබඳ හරි අපූරු ජනප්‍රවාද රැසක් තියෙනවා. නිශ්චිතවම නමක් සදහන් නැතත් එක්තරා රජ කෙනෙක් යුද්දෙට යන්න ලෑස්තිවෙලා තමන් යුද්දෙන් පැරදුනොත් තමන්ගෙ බිසෝවරුන් තිස්දෙනා සතුරන් විසින් මරා දමාවි යැයි සිතා අසුපිනි ඇල්ලට ඉහළින් ඇති ගල් ගුහාවක සඟවා තබන්නට තීරණය කළාලු.
අදටත් ‍මේ ගල් ලෙන හදුන්වන්නේ ‘තිස් කුමාරි ලෙන‘ කියලයි. බිසෝවරු 30ක් සැඟවී සිටි නිසයි එයට මේ නම ලැබිලා තියෙන්නෙ.

මේ රජතුමා යුද්දෙට යන්න කලින් බිසෝවරුන්ට කියල තියෙනවා යුද්දෙ දිනල එන අයුරු බලන්න ඇල්ල උඩ ඇති ගලට එන්න කියලා. යුද්දෙ දිනුවොත් සුදු කොඩියක්, පැරදුනොත් කළු කොඩියක් රැගෙන එන බව පවසා තිබුණා.

යුද්දෙන් දිනූ රජතුමා කොඩිය රැගෙන යාමට අණකර ඇත්තෙ හත්ගම්පල නම් ගමෙහි කොඩිකරුවාටයි.ඔහු බීමතින් සිටි නිසා සුදු කොඩිය වෙනුවට ඔසවා ඇත්තේ කළු කොඩියයි. රජතුමා යුද්දයෙන් පරාජය වූවායැයි සිතූ බිසෝවරු ඇල්ලෙන් පහළට පැන දිවි තොර කරගෙන ඇති බවයි ජනප්‍රවාදයේ සඳහන් වෙන්නෙ. පසුව මෙය දැනගත් රජතුමාද දුක උහුලාගත නොහැකිව තමා පැමිණි අසු ඇල්ලෙන් පන්නවාගෙන දිවි තොර කර ගත්තලු. අසු පැනි ඇල්ල තමයි අසුපිනි ඇල්ල නමින් ප්‍රකට වෙලා තියෙන්නෙ.

අඩි 300ක් පමණ උසින් අඩි 40ක් පමණ පළලින්ද යුතු මහල් 02ක් ඔස්සේ ඇද හැලෙන අසුපිනි ඇල්ලේ චමත්කාරය අපගේ විඩාව කොහෙදෝ දුරකට රැගෙන ගියා. මීදුමෙන් වැසීගත් කඳු පන්ති පරිසරයට අමුතු සිරියක් කැන්දගෙන ආවා. ස්වභාවික වෘක්ෂලතාවන් හා ඖෂධ පැළෑටිවලින් ගහන වූ වන ලැහැබ විවිධ පළතුරු මෙන්ම මල් වර්ගවලින් හැඩවෙලා ඉන්නෙ හරි අපූරුවටයි. කඳුකර ප්‍රෙද්ශයට පමණක් ආවේණික කුරුළු රංචු, උරඟ, සිවුපා සතුන්ගේ නිජ භූමිය වුණු  අසුපිනි ඇල්ල  අවට සුන්දර පරිසර පද්දතිය සොබාදහමේ අපූරුතම නිමැවුමක් කීවොත් මම නිවරදියි.

පුංචි පුංචි දිය කඩිති වගේම අප වට කොට නැගී සිටි යෝධ කඳු වැටි මේ පරිසර පද්ධතියේ අලංකාරය දෙගුණ තෙගුණ කරනවා. යාන්ත්‍රිකරණයේ පහස නොලැබූ අසුපිනි ඇල්ල තවමත් නොඉඳුල් පරිසර පද්දතියක්.ඒ පරිසර පද්දතියට අළුත් කිසිම දෙයක් අවශ්‍ය නෑ. ඒ නිසා අප රැගෙන යන සියල්ලම අප රැගෙන ඒමට අමතක කරන්න එපා. ඉතින් ඔයාලත් එන්න ඇවිත් බලන්න සුන්දරත්වය විඳගන්න. පා සටහන් පමනක් ඉතිරි කර මතකයන් පමණක් රැගෙන යන්න.

No comments:

Post a Comment

උපන්දා සිට අවුරුදු දෙක දක්වා දරුවෙකුට ඇතිවිය හැකි ආසාත්මිකතා හා ඉන් වැළැක්වීමට ගත යුතු පියවර

පුංචි පැංචන් කියන්නේ හරිම සංවේදී පිරිසක් . ඒ නිසාම අන් අයට වඩා ඒ පැටවුන්ට විශේෂ අවධානයක් අවශ්‍ය වෙනවා . පොඩිත්තන්ගේ ප්‍රතිශක්තිකරණය වැ...