Friday, 15 June 2018

ජීවිතය






 අද නම් හරිම මහන්සියි. උදේ ඉඳන් පැටියා අඬනවා නළව ගන්නත් බැරුව. දැන් තමයි ටිකක් ඇහැ පියා ගත්තේ .චූටි පැටියා නිදා ගත්තා කියලා මට නම් විවේකයක් නෑ .මොකද කීවොත් එයා නිදි අතරේ තමයි මම ගෙදර වැඩ ටික කර කර ගන්නේ.අද නම් දෝණි නලවගන්න ටිකක් දඟලපු නිසා මහන්සි.එත් මහන්සි කියලා විවේකයක් ගන්න තරම් කාලයක් මට නෑ. මගේ ජීවිතේ ගෙවුණු කාලය දිහා හැරිලා බලද්දි මටම පුදුම හිතෙනවා දෛවයේ සරදමක් ද කියලත් .මේ වගේ ජීවිතයක් ගෙවන්න සිහිනෙන් වත් හිතපු නැති කෙනෙක් මම .මොකද කීවොත් දුක කියන දේ මම දන්නෙවත් නෑ .මගේ ජීවිතය දුක් වෙන්න හේතු මට තිබුනෙ නෑ.


මම ගොඩක් සැප විඳපු කෙනෙක් .මගේ අප්පච්චි ව්‍යාපාරිකයෙක්. ඒ නිසා අපට සල්ලි අතින් නම් අඩුවක් තිබුණෙ නැහැ. අම්මා අපි හැමෝම බලාගෙන ගෙදරට වෙලා හිටියේ. ගෙදර බාල දුව වුණ මම හැදුණෙ හුරතලේට .අක්කා බැඳලා ගෙදරින් පිට ඉන්න නිසා මම විතරයි ගෙදර හිටියෙ. ඒ නිසා මම ගොඩක් සැප පහසුව හිටියේ. අම්මාගේ අප්පච්චිගේ හුරතලේ නිසාම මම ටිකක් මුරණ්ඩුයි. ටිකක් කීවට ටිකක් මත් නෙවෙයි.මම කරපු හැම වැරැද්දකටම ගෙදරින් මට සමාවක් තිබුනා .මොකද ගෙදර හුරතලා මමනේ .ඉල්ලන පරක්කුවෙන් අප්පච්චි මට සල්ලි දෙනවා. එතකොට නම් අම්මා කීවේ අප්පච්චිගේ හුරතලේ හින්දා මම නරක් වෙනවා කියලා. ඒත් අප්පච්චි නම් අම්මගේ කීම කනකටවත් ගත්තෙ නැහැ. අම්මටත් වඩා මම ගොඩක් ලං වුනේ අප්පච්චිට

 නිමේෂ් මගේ ජිවිතයට එනකොට  මට අවුරුදු දාසයයි.අම්මාගේ අප්පච්චිගේ ආදරේ මදි නිසා නෙමෙයි මම නිමේෂ්ට  ට  ලං වුනේ. මගේ යාළුවෝ හැමෝටම වගේ එයාලගේ ජීවිතේ විශේෂ කෙනෙක් හිටියා.ඉතිං මටත් ඒ අත්දැකීම ලබන්න ආස හිතුනා. වයසෙ වැරැද්ද නේ. ඒත් මම හිතුවේ නෑ ඒ ආදරේ මාව මෙච්චර දුර අරන් එයි කියල. නිමේෂ් කියන්නේ  අපේ ගමේ සාමාන්‍ය පවුලක ළමයෙක්.එයා ඉගෙනගෙන තිබුනේ සාමාන්‍ය පෙළ දක්වා විතරයි. රස්සාවක් කලේ නැහැ. යාළුවෝ එක්ක දවස තිස්සෙම ඇවිදින එක තමයි එයාගේ රාජකාරිය වුණේ.නිමේෂ් ටිකක් දඩබ්බර කෙනෙක්. ඒ දඩබ්බරකමට මම ගොඩක් ආදරේ කළා. මට ඒ කාලේ ආදරය ගැන කිසිම තේරුමක් තිබුණෙ නෑ.අනිත් අයත් ආදරේ කරන නිසා මමත් කලා
 නිමේෂ් දඩබ්බරයෙක් වුණාට එයා හරිම හොඳයි. මගේ අප්පච්චිට තියෙන ගතිගුණ සමහරක් එයා ලග තිබුණා. ඒ නිසාමද මන්දා එයාට මම ගොඩක් ලං වුනා .


මොන දේ කළත් මම ඉගෙන ගන්නත් හරි දක්ෂයි. සාමාන්‍ය පෙළ සමත් වුණ
 මම උසස් පෙළ කලා විෂය  ධාරාව හදාරන්න තීරණය කළේ නිවේදිකාවක් වෙන්න මගේ හිතේ තිබුණු හීනය නිසා.

 අමතර පංති යන්න පටන් ගත්තහම ඉදහිට පන්ති නොයා නිමේෂ්ගේ තුරුලෙ හිටියේ හැමෝගෙම ඇස් වලට වසන් වෙලා.ඒ අතීතයට මම තවත් ආදරෙයි. මෙහෙම කාලෙ ගෙවිලා ගිහින් උසස් පෙළ විභාගයත් ළං වුණා.උදේ රෑ නැතුව මම විභාගයට මහන්සි වුණේ කැම්පස් හීනය හිතේ තියාගෙන .


මට ඒ දවස අද වගේ මතකයි. මගේ විභාග ප්‍රතිපල ආවා දවස. අම්මගේ අප්පච්චිගෙ ඇස් වල සතුටු කඳුළු පිරිලා තිබුණා. එයාලගේ  පුංචි දෝණි කැම්පස් යන්න පාස් වෙලා .හැමෝගෙම  සතුටත් අරන් කැළණි කන්ද නැගපු පලවෙනි දවසෙම ඒ සතුට සුනු විසුනු වෙලා ගියා. ජීවිතයේ ආයේ හදාගන්න බැරි ලොකු වැරැද්දක් මම  අතින් වුණේ.උදේ ඉඳන්ම බස් එකේ ආව නිසා මහන්සියට වමනේ යනවා කියලා තමයි අම්මයි අප්පච්චි කීවේ .මට නම් ඒක සැහැල්ලුවට හිතන්න බැරි වුණා.නිමේෂ් එක්ක පහුවදාම ඩොක්ට කෙනෙක් ලඟට ගියේ ඒ නිසා. දෙවියනේ ලැබුණේ ආරංචියක් එක්කම මට හිටපු තැනත් අමතක උනා. මම අම්ම කෙනෙක් වෙන්න යනවා. මට අදහගන්න බැරි වුණා.

කුසට පුංචි පැටියෙක් ,ලෝකෙ තියෙන සුන්දරම වචන ටික උනාට වුණාට අපට නම් ඒක එතරම් සුන්දර වුණේ නැහැ. මම මොකද කරන්න ඕන කියලා මටම හිතා ගන්න බැරි උනා. ගෙදර හැම තැනම දග කර කර ඇවිදපු ඒ පුංචි දෝණි අම්ම කෙනෙක් වෙන්න යනවා.අම්මයි අප්පච්චියි ඒක කොහොම දරා ගනීද.අප්පච්චිගේ ඒ ආදරණීය මුහුණ කඳුළු අතරින් මැවි මැවී  පේන්න පටන් ගත්තා. මට  නැගිට ගන්නවත් දෙපා වාරු නෑ .

දැන් කරන්න දෙයක් නැහැ .උන දේ උනා අපි මෙහෙ ඉමු, නිමේෂ් කීවේ එහෙම .දරුවට අනතුරක් නොකර එයාව රැකගන්න නිමේෂ්  ගත්ත තීරණය විතරයි මට සතුටකට කියල තිබුනෙ.

 කැලණි කැම්පස් එක ආසන්නයේ වූ පුංචි බෝඩිම් කාමරයක් කුලියට අරන් අපි ජීවත් වෙන්න තීරණය කලා.ඒ  ලඟ ගාමන්ට් එකකට වැඩට යන්න නිමේෂ්  පටන් ගත්තේ වෙන කරන්න දෙයක් නැති නිසා. පුංචි බඩකුත් උස්සගෙන  හරි පරිස්සමින් අඩි තිය තිය කැළණි කන්න මම නැග්ගේ මගේ හීනෙට යන්න පාර කපා ගන්න

 යහළු යෙහෙළියන් දඟ කරමින් නටනවා දැක්කම දුකක් නොදැනුණා නෙමෙයි
මගේ ජීවිතයේ හොඳම කාලේ. දැන් මම ගැන විතරක් නෙවෙයි මගේ පැටිය ගැනත් හිතන්න ඕන. අගහිගකම් නැතුව හැදුණු මම දැන් අගහිගකම් මැද ජීවත් වෙන හැටි ඉගෙන ගන්නවා .පුංචි කාමරයක් තිබුණේ අපට .ලාම්පුතෙල් ලිපක් තියාගෙන ඒ කාමරයේම  තමයි උයන්නෙත් .උයන්න බෑ කියල හිතුන දවසට කැම්පස් එකෙන් රුපියල් 40ක බත් එකක් අරන් ඇවිත් දෙන්නම බෙදාගෙන කනවා .ඇගට මහන්සි අමාරුයි .අම්මා අප්පච්චි නිතරම මතක් වෙනවා. ඒත් එයාලා මාව පිළිගන්න ලෑස්ති වෙලා නෙමෙයි හිටියෙ. මට හැමදේටම හිටියේ නිමේෂ්  විතරයි.නිමේෂගේ පවුලේ අයත් අපි එක්ක  අමනාපෙන් හිටියෙ.ජීවිතේ කියන්නේ මොකක්ද කියලා දැන් තමයි මට තේරෙන්නේ .අම්මා උයලා දුන්න බත් එකේ රස ගුණ හොය හොය කාපු මම අද තනියම උයනවා.


ඉගෙන ගන්න දේවලුයි ගෙදර වැඩයි අස්සේ මගේ පුංචි දෝණිට ලස්සන ලස්සන ඇඳුම් මහන්නත් මම පටන් ගත්තා. දැන් මගේ මුළු ලෝකෙම එයා වෙලා. මටත් හරි පුදුමයි. දින සති මාස ගෙවිලා මගේ දෝනි දැන් ගොඩක් ලොකු වෙලා. අම්මගෙ තුරුලට එන්න දැන් ළඟයි. වෙලාවකට අම්මිට සැර කරලා බණ්ඩියට පුංචි පාරකුත් දෙනවා .ඒත් මම හරි ආදරෙන් ඒ දේවල් දරා ගත්තේ.


මගේ බන්ඩිය දැන් ගොඩක් ලොකුයි .වෙලාවකට කැම්පස් යන්නත් ලැජ්ජා හිතෙනවා. අනිත් අය මං ගැන මොනවා කියනවා  ඇත්ද කියල හිතෙනවා.ඒත් මගේ දෝනි නිසා මම ඒ හැමදේම ඉවසුවා. මගේ යෙහෙළියන්  නම් මාව හරි ආදරයෙන් බලා ගත්තා.  අම්මාගේ රැකවරණය නොතිබුන මට එයාලගේ ආදරය මහමෙරක් .මෙහෙම කාලය ගිහින් මගේ දෝනි මම මම ළඟට එන්න කාලෙත් හරි.

 මේ කාලෙ වෙද්දි ගෑණු ළමයෙක් ඉන්න් ඕන එයාගේ අම්මා ලග.ඒත් මට ඒ පින තිබුනේ නෑ.අම්මා අප්පච්චි මතක් වුණත් මට එයාලා ලගට යන්න ශක්තියක් තිබුනේ නෑ.

මම ඉස්පිරිතාලෙ නවත්තපු දවසේ හොදටම බය වෙලා හිටියේ.නිමේෂුත් කලබල වෙලා.කොහොමහරි පෙරුම් පුරලා ඒ පුංචි රෝස මල අපි ලගට ආවා.මගේ පුංචි සුරනගනාවි,මම හරි ආදරෙන් නලල සිප ගත්තා.

No comments:

Post a Comment

උපන්දා සිට අවුරුදු දෙක දක්වා දරුවෙකුට ඇතිවිය හැකි ආසාත්මිකතා හා ඉන් වැළැක්වීමට ගත යුතු පියවර

පුංචි පැංචන් කියන්නේ හරිම සංවේදී පිරිසක් . ඒ නිසාම අන් අයට වඩා ඒ පැටවුන්ට විශේෂ අවධානයක් අවශ්‍ය වෙනවා . පොඩිත්තන්ගේ ප්‍රතිශක්තිකරණය වැ...