Tuesday 31 July 2018

උපන්දා සිට අවුරුදු දෙක දක්වා දරුවෙකුට ඇතිවිය හැකි ආසාත්මිකතා හා ඉන් වැළැක්වීමට ගත යුතු පියවර



පුංචි පැංචන් කියන්නේ හරිම සංවේදී පිරිසක්. ඒ නිසාම අන් අයට වඩා ඒ පැටවුන්ට විශේෂ අවධානයක් අවශ්‍ය වෙනවා. පොඩිත්තන්ගේ ප්‍රතිශක්තිකරණය වැඩුණු පුද්ගලයෙකුගේ තරම් ප්‍රබල නැති නිසා ඔවුන්ට ඉතාමත් ඉක්මනින් ලෙඩ රෝග බෝවීමේ ප්‍රවණතාව වැඩියි. ඉතින් අපි අපේ පැටියාව ආදරයෙන් ආරක්ෂා කරගන්න ඕන.මොකද එයාලට ඉක්මනින් අසාත්මිකතා ඇති වෙන්න පුළුවන්. ශරීරය දක්වන අතිසංවේදී ක්‍රියා නිසා ප්‍රතිශක්තිකරණ පද්ධතිය දක්වන ප්‍රතික්‍රියා හේතුවෙන් ආසාත්මිකතා ඇති වෙනවා. මෙය ප්‍රධාන වශයෙන් ආකාර දෙකක් යටතේ සිදු වෙනවා

·         ආහාර මඟින්
·         බාහිර පරිසරය මගින්

මේ අතරින් පුංචි පැංචියන්ට වැඩි වශයෙන් ආසාත්මිකතා ඇති වෙන්නේ ආහාර හා සබැඳි හේතු සාධකයන් නිසා. මව් කුසෙන් එළිය දුටු දරුවෙකු මාස 6ක කාල සීමාව දක්වා ප්‍රධාන ආහාරය වන්නේ මව් කිරි. මේ කාල සීමාව තුලදී නම් ආසාත්මිකතා ඇතිවීමේ ප්‍රවණතාවය ගොඩක් අඩුයි. ඒත් මාස හයෙන් පසුව අපි දරුවාට නව ආහාර රටාවන් හදුන්වා දෙනවා.මෙහිදී පුංචි පැටියාට ලබාදෙන ආහාර පිළිබඳ විශේෂ සැලකිල්ලක් දක්වන්නට ඕන. මවක් තම දරුවාට ඇති වෙන්න පුළුවන් ආසාත්මිකතා පිළිබඳව වගේම ඉන් වැළැක්වීමට ගත යුතු පියවර පිළිබඳව දැනුවත් වීම වඩා වැදගත්.




දරුවාගේ නිරෝගී කම රැඳිලා තියෙන්නේ අම්මා මත. මාස හයකින් පසුව පැටියට ලබාදිය යුතු ලබා දිය යුතු ආහාර පිළිබඳව මව විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන. මොකද අපි පැටියාට ලබා දෙන්නේ ඔවුන් මින් පෙර රස නොවිඳි අහාරයන්. පුංචි පැටියාට සමහර වෙලාවට මෙම ආහාර කුසට දරා ගැනීමට තරම් ශක්තියක් නැති වෙන්න පුළුවන්. ඒ නිසා ආහාර හඳුන්වාදීමේ මුල් අවධියේ දී වෛද්‍යවරුන් අනුමත කරන්නේ දරුවන්ට බෙරි බත ලබාදීමයි. මේ සඳහා බොහෝවිට ශාකමය පෝෂ පදාර්ථ ඇතුළත් කිරීම බොහොම වැදගත් වෙනවා. ඒ වගේ ම නව ආහාර හඳුන්වාදීමේ දී, දිනකට එක් අලුත් ආහාරය බැගින් දරුවාට ලබාදෙන්න මව්වරුන් සැලකිලිමත් වෙන්න ඕන. මොකද දරුවාට යම් ආසාත්මිකතාවක් ඇති වුවහොත් ඒ සඳහා හේතු වූ සාධකය හොයා ගැනීම පහසුයි. දිනකට නව ආහාර කිහිපයක් ලබාදීම තුළින් දරුවාට ආසාත්මිකතාවයන් ඇති වීමට බලපාන හේතුවූ ආහාර වර්ගය සොයා ගැනීම අපහසු වෙනවා. ඒ වගේම මුල් අවධියේදී සත්ව ආහාර ලබාදීමෙන් වැළකී සිටීම ඉතාමත්ම වැදගත්. මොකද සත්ව ආහාර ලබාදීමෙන් වැළකී සිටීමට ඉතාමත්ම වැදගත්. සත්ව ආහාර වල ප්‍රෝටීන් තුළින් ඇති විය හැකි ආසාත්මිකතාවය බහුල වන නිසා, පොඩිත්තන්ගේ ආහාර වේල සඳහා මාළු එක් කිරීමට මාස 8න් ද  බිත්තර එක් කිරීම මාස 9න් පසුව ද සිදු කිරීම වඩා යහපත් වෙනවා. මෙය අනිවාර්යෙන්ම නීතිය නොවුනද පැටියාගේ නිරෝගිකමට ගොඩක් වැදගත්. ආහාර මගින් ඇතිවිය හැකි ආසාත්මිකතා අනුව කාණ්ඩ කිහිපයකි,



  •  කිරි                                   
  •  මස් වර්ග 
  • මාළු
  • ඇට වර්ග (රටකජු /කජු)
  •  බිත්තර



යන ආහාර කාණ්ඩයන්ගෙන් ආහාර ලබාදීමේදී ගොඩක් ගරු ප්‍රවේශම් වෙන්න ඕන. අහාර මගින් ඇතිවිය හැකි ආසාත්මිකතා වල මූලික ලක්ෂණය වන්නේ සිරුරෙහි පලු මතුවීම සහ එම පලු කැසීමයි. එමෙන්ම එළකිරි වැනි දියරමය ආහාර මගින් පුංචි පැටියට ඇතිවන ආසාත්මිකතා නිසා ආහාර වර්ධනයට ද විවිධ බලපෑම් එල්ලවෙන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් බඩවැල් සඳහා බලපෑම් සිදුවෙනවා. වමනය ඇතිවීම බඩ ඉදිමීම වැනි රෝග ලක්ෂණයන් මෙහිදී පෙන්නුම් කරනවා. මෙවැනි අවස්ථාවකදී හැකි ඉක්මනින් දරුවා රෝහල්ගත කිරීම සිදු කළ යුතුය.






ආහාර මගින් ඇතිවන ආසාත්මිකතා මගින් දරුවාට විවිධ අපහසුතා ඇතිවන ඇතිවෙන්න පුළුවන්. එම නිසා පැටියාට ආහාර ලබාදීමේදී වඩාත් සැලකිලිමත් වෙන්න ඕන. ආහාර මගින් ඇතිවන ආසාත්මිකතා මගහරවා ගැනීම සඳහා හොඳම පියවර වෙන්නෙ වසර දෙකක් ගතවන තුරු දරුවන් සඳහා මවුකිරි ලබා දීමයි. මව් කිරි දරුවාගේ බොහෝ ගැටළු සඳහා පිළිතුරකි. පැටියාගේ නිරෝගීකම සුරකින ප්‍රධාන සාධකයක් වන්නේ මෙයයි.
කුඩා දරුවකු වෙත ආහාර මගින් ඇතිවන ආසාත්මිකතාවයන්ට අමතරව තවත් හේතූන් මත ආසාත්මිකතා ඇති වෙන්න පුලුවන්. එනම් දරුවන් සඳහා ලබාදෙන ප්‍රතිජීවක ඖෂධ ඇතුළු වෙනත් රෝගයන් සඳහා ලබාදෙන ඖෂධ. ඇතැම් දරුවන් ඇමොක්සලීන්, පෙනිසිලින් වැනි ඖෂධ සඳහා ආසාත්මිකතා ලක්ෂණ පෙන්නුම් කරනවා. එවැනි අවස්තාවකදී සාමාන්‍ය අසාත්මිකතාවයක් පෙන්නුම් කරන සිරුරෙහි පලු ඇතිවීම වැනි ලක්ෂණ ඇතිවෙනවා. ඇතැම්විට මෙය අධි ආසාත්මිකතාවක් දක්වා වර්ධනය වීමේ අවදානමක් තියෙනවා. ආසාත්මිකතාවයක් ඇති වුවහොත් මුඛය වටා රතු පැහැ ගැන්වීම, ඉදිමීම සිදුවිය හැකියි. මෙවැනි අවස්ථාවක වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කිරීම ඉතාමත් වැදගත්. සාමාන්‍ය වශයෙන් ඇතිවිය හැකි ආසාත්මිකතාවයන් ඇතැම් විට ඇතැම් විට කෙටි කලකින් සුව විය හැකියි. යම් හේතු මත ප්‍රබල ලෙස දරුවෙකු ආසාත්මිකතාවයක් ඇති වුවහොත් එමගින් අනිසි බලපෑම් ඇති වීමේ හැකියාව ඇති අංශ කිහිපයක් පවතිනවා.

·         හෘද වස්තුව හා රුධිරවාහිනී පද්ධතිය.
·         ස්වසන ස්වසන පද්ධතිය
·         ආහාර මාර්ගය

හෘද වස්තුවට ආසාත්මිකතාවයක් නිසා බලපෑමක් ඇති වුවහොත් කුඩා දරුවාගේ රුධිර වාහිනී ගමනාගමනය දුර්වල වෙන්න පුළුවන්. එසේ සිදු වෙන්නේ අධි ආසාත්මිකතාවයන් නිසා ඇතිවන රසායනික ද්‍රව්‍යයන් හි බලපෑම නිසා රුධිර වාහිනී ඉපිල් වීමෙනි.ඒ මත රුධිරය ගමන් කිරීමේ වේගය අවම වෙනවා. මෙවැනි අවස්ථාවන්හි බාහිරින් හඳුනාගත හැකි ලක්ෂණය වෙන්නේ සිරුර සුදුමැලි වීම හා ක්ලාන්ත ගතියක් ඇති වීමයි. මොළයට සිදුවන ලේ ගමනා ගමනය අවම වීම නිසා පැටියට සිහිසුන් ගතියක් ඇති වෙන්න පුළුවන්. මේ වගේ අවස්ථාවක දී මව වඩාත් අවධානයෙන් යුක්තව කටයුතු කිරීම හරිම වැදගත්.


ස්වසන මාර්ගය ආශ්‍රිතව මෙවැනි ගැටලු තත්ත්වයක් ඇති වුවහොත් ස්වසන මාර්ගයේ අවහිරතා ඇති වෙන්න පුළුවන්. එම හේතුව නිසා ස්වසන මාර්ගයේ සෙම පිරී හුස්ම ගැනීමේ අපහසුතා මෙන්ම දරුවා හුස්ම ගැනීමේදී යම් හඬක් පිට වීම පවා සිදුවෙන්න පුළුවන්.

ඇතැම් වෛරස් රෝගයන් සඳහා දරුවන් ආසාත්මිකතාවයන් පෙන්නුම් කරන්න පුළුවන්. වෛරස් රෝගයක් දරුවාට වැළඳුණු අවස්ථාවකදී සමහර අවස්ථාවක ශරීරයේ පලු මතුවීම ආදිය සිදු වෙන්න පුළුවන්.
දෙබරුන් සහ බඹරුන් බඹරුන් ආදී සතුන් දෂ්ඨ කිරීම මගින් ඇතිවන ආසාත්මිකතා

වැඩිහිටියන්ට මෙන් පුංචි පැටවුන්ට දරාගැනීමේ ශක්තිය ටිකක් අඩුයි. හරි ඉක්මනින් ලෙඩ රෝග ඇති වෙන්න පුළුවන් ඉතින් අපි ගොඩක් අපේ පැටියා ගැන සැලකිලිමත් වෙන්න ඕන ආසාත්මිකතාවයන් අධි ආසාත්මිකතාවයන් බවට පත් වුවහොත් ඇතිවන ප්‍රතිඵලය භයානකයි.

Thursday 26 July 2018

දෙවියන් පුදන සුන්දර මානැල්ල



 සොබා දහම කියන්නේ මානවයාගේ විඩාවට කාන්සියට හොඳම දිව ඔසුවක්. අපේ මේ පුංචි මුතු ඇටය සොබාදහමේ අපූරු බලවේග බොහෝමයකට ජීවය ලබා දෙනවා. ඒ වගේම අරුම පුදුම බලවේග තියෙන තැනකට තමයි අදත් අපි යන්නෙ. සතර කෝරලය කියන්නේ සෞන්දර්ය වගේම පෞරාණික වශයෙනුත් ස්ථාන රාශියකටම සෙවන සපයන ප්‍රදේශයක්. ඉතින් අද අපේ ගමනාන්තය උනේ සතර කෝරළයේ තරමක් උස දිය ඇලිවලින් එකක්. මීටර් 20ක් පමණ උස මෙම දිය ඇල්ල නමින් මානැල්ල. ඒ තරම් ප්‍රසිද්ධියක් නැතත් සොබාදහමේ අපූරු නිර්මාණයක් වුන මෙම දිය කොමලිය බොහෝ දෙනෙකුගේ නෙත් පැහැර ගන්න සමත් වෙලා තියෙනවා.

පින්දෙනිය පොලිස් වසමට අයත් වරකාපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පැල්පිට නම් ගම්මානයේ තමයි මෙම පුංචි දිය කොමලිය පිහිටලා තියෙන්නේ. සල්ගල ආරණ්‍ය ආරම්භ වන පුංචි දියපහර පැල්පිට ගම්මානයට පැමිණෙන්නේ විශාල ජල කඳක් වගේම නෙත් වශීකරන සුන්දරත්වය කුත් කැන්දාගෙන.


බොහෝ දෙනෙක් මෙය කුමරියගේ සුන්දරත්වය වර්ණනා කළත් මගේ දෙනෙත් ඉදිරිපිට ම එය ප්‍රත්‍යක්ෂ කර ගැනීමටයි මට නම් සිත පැවසුවේ. එමනිසා විවේකී සවස් යාමයේ දී යාමයේදී දිය කුමරිය වෙත යාමට අපි තීරණය කළා. වාහනය මග නතර කළ අපි ගම්වැසියකුගෙන් ලද මාර්ග සලකුණු ඔස්සේ අපි දිය කොමලිය වෙත ගමන ආරම්භ කළේ කොමලියගේ සංගීතය රාවයටත් කන් දෙමින්. වර්ෂාව සහිත කාලයක් නිසා අපි අඩිපාර දිගේ ගියේ හරි පරිස්සමෙන් මොකද මාර්ගය ටිකක් ලිස්සනවා. කූඩැල්ලන්ගෙ කරදරයත් අපේ ගමන ටිකක් පමා කළා. කොහොමහරි ගමනාන්තය කරා ළඟා වුණා. මගේ නෙත් අදහා ගන්න බැරි වුනා. හොර රහසේම ගලා බසින මාන ඇල්ල දිය කොමලිය ඒ තරම් සුන්දරයි.
 

ගල් පර දිය සෙවෙල් බැඳිලා නිසා ලිස්සනවා. අපි හරි පරිස්සමෙන් තමයි ඇල්ල අසලට ගියේ. රාස්සිගේ අව්ව වැටිලා ඇල්ල තවත් ලස්සනයි. හරියටම නිළියක් වගේ. පෙණපිඩු විසිරුවමින් ඇදහැලෙන ඇල්ල අසල අපි විඩා නිවා දැමුවේ තේ පැන් සංග්‍රහයක් ද භුක්ති විඳිමින්. මෙම දිය කොමලිය ඉහළ මානල මානැල්ල සහ පහල මානල්ල වශයෙන් කොටස් දෙකක් ඔස්සේ තමයි ඇද හැලෙන්නේ. මෙම දිය කුමරිය ආශ්‍රිතව අපේ ඉතිහාසයේ බොහෝ ජනප්‍රවාදයන් බැඳිලා තියෙනවා. ඉතිහාසය වෙනස් කළ ශ්‍රේෂ්ඨ නිරිඳකු වන වළගම්බා රජතුමා මේ ආශ්‍රිතව සැඟවී සිටියා වගේ ම එතුමන්ගේ සේනා සංවිධානය කිරීමේ කාර්යයන්ද මේ ආශ්‍රිතව සිදු කරලා තියෙනවා කියලා තමයි තමයි ප්‍රදේශවාසීන් සඳහන් කළේ. ඒ වගේම මෙය ගම්වැසියන් තුළ තවත් ප්‍රබල විශ්වාසයක් තියෙනවා, ඒ තමයි මානැල්ල දෙවියන් මෙම දිය කොමලියට අරක්ගෙන ඇති බව. ඒ බව අපට සඳහන් කළේ ජනක රාජපක්ෂ මහතා මේ ප්‍රදේශයේ නිවෙස් වල  මාන දෙවියන් සඳහා වෙනම පහනක් තබන බවයි එතුමන් වැඩිදුරටත් සඳහන් කළේ. බාරහභාර හාර පුද පූජා ද මාන දෙවියන් උදෙසා සිදුකරනු ලබන්නේ අපරිමිත භක්තියෙන් වගේම විශ්වාසයෙනි. ඒ වගේම මෙම ඇල්ල ආශ්‍රිතව නිදානයක්  තියෙනවා කියලත් මතයක් තියෙනවා. ජනප්‍රවාදයේ සඳහන් මෙම කරුණු සාධනය කර ගන්නටත් ඔවුන්ට විවිධ සාක්ෂි තියෙනවා. වර්ෂාව නොමැති කාලයේ දී මානැල්ල දිය කොමලිය මධ්‍යයෙහි පිරිත් මණ්ඩපයක් සාදා පිරිත් කීම ගම් වැසියන්ගේ සිරිත. පිරිත් අවසාන වනවාත් සමගම මණ්ඩපය ගසාගෙන යන්නට වර්ෂාව ඇද හැලෙන බව ඔවුන් සඳහන් කළේ ඔවුන්ගේ අත්දැකීමක් ලෙසටයි. අපි මේ දිය කොමලිය වෙත ගියේ වර්ෂාව සහිත කාලයක නිසා ජලය කඳ ටිකක් සැරයි. දිය කොමලිය වෙත පැමිණෙන අපරික්ෂාකාරී ලෙස හැසිරුණු බොහෝ දෙනෙක් දිය කොමලියට බිලි වී තිබෙනවා. එම නිසා මෙම සුන්දරත්වය තුළ  සැඟවී තිබෙන ඛේදජනක සිදුවීම් ගැනත් ඔබ දැනුවත් විය යුතුයි. එසේ නොමැති නොමැතිනම් ඔබගේ සතුටටත් මේ දිය කොමලිය සමඟ සැඟවෙන්නට පුළුවන්. එම නිසා ඔබගේ ආරක්ෂාව සලසා ගන්නට ද අමතක කරන්න එපා.



Wednesday 25 July 2018

ආදි මානවයාගේ නිජබිමක් වූ දොරවක ලෙන


අතීතය දෙස බලලා තමයි අපි අපේ අනාගතය නිර්මාණය කරගන්නේ. ශ්‍රී ලාංකිකයෝ වන අපට හරි අපූරු ශක්තිමත් ඉතිහාසයක් තියෙනවා. ඉතින් අනාගතය ගොඩනඟා ගන්න අපට අතීතයට යන්නම වෙනවා. ඒ නිසාම අතීතයේ සුන්දර මතකයන් ගොන්නක් කරපින්නා ගත් ඓතිහාසික වැදගත්කමක් ඇති ස්ථානයකට අපි අද යන්න හිතුව. බෙලිගල් කෝරළයේ කීරවැලි පත්තුවට අයත් දොරවක ලෙන නැතිනම් ඇතුබැඳි ලෙන කියන්නේ සුන්දර මතකයන් රැසක් කැටි කොටගත් කොට ගත් ඓතිහාසික ස්ථානයක්. මේ දොරවක කියන ග්‍රාමය ඓතිහාසික පුරවරයක්. වරකාපොල සිට අගුරුවැල්ල අඟුරුවැල්ල මාර්ගයේ කිලෝමීටර් 4ක් පමණ ගමන් කළ පසු හමුවන තල්ලියද්ද හන්දියෙන් වම් දෙසට ඇති මාදෙනිය මාර්ගයේ කිලෝමීටර් තුනක් පමණ ගියාම තමයි අපට මේ දොරවකලෙන හමු වුනේ.



උදෑසන හිරු කිරණ පොළොව සිප ගන්නවත් සමගම තමයි අපි ගමනාන්තය කරා ළඟා වුණේ. වාහනයකින් ලෙන ආසන්නයටම යන්න අපහසුයි. ඒ නිසා දෙපා වාරුවෙන් තමයි අපට ගමන අවසන් කරන්න සිද්ධ වුණේ. මේ ගම්මානය ගැන වගේම ලෙන ගෙන අති ජනප්‍රවාදයන්හී මතකය අවදි කරමින් ගමන් කරපු නිසාද මන්දා වැඩි මහන්සියක් දැනුනේ නෑ. එහෙත් ගමන ටිකක් විතර දුෂ්කරයි. රබර් වත්තක් මැදින් වැටිල තියෙන පුංචි අඩිපාරත් ටිකක් විතර ලිස්සනවා. ඒ නිසා පරිස්සමෙන් තමයි යන්න ඕන.

ගමනාන්තය කරා ළඟා වුණ අපට දැකගත හැකි වූයේ නිසංසල රබර් වත්තක් මැද විරාජමානව තිබෙන ගල්ලෙනයි. කුරුල්ලන්ගේ කිචිබිචිය ගසට ගස් ඇතිල්ලෙන සර සර හඬත් ඇරෙන්න වෙන කිසිම ශබ්දයක් නෑ. අඩි 55 ක් පමණ උසැති දැවැන්ත ගල් දෙකක් එකිනෙකා වැළඳගැනීමෙන් තමයි මේ ලෙන නිර්මාණය වෙලා තියෙන්නේ. අනෙක් තැන්වලට වඩා මෙය විශේෂ වන්නේ ද මෙහි ඇති හැඩය නිසා. ආදි මානවයා මෙම ඇතුබැඳි ලෙන තම වාසස්ථානය කොට ගෙන ජීවත් වූ බවට බොහෝමයක් පුරාවිද්‍යාත්මක කැණීම් වලින් හමු වෙලා තියෙනවා. මේ ලෙන ඇතුබැඳි ලෙන කියලා කියල හඳුන්වන්න පාදක වුණු විවිධ හේතු කිහිපයක්ම තිබෙනවා. ඒ අතර එක් මතයක් වන්නේ ආදි මානවයා විසින් සලකුණු කරන ලද රූප සටහන් අතර ඇති ඇතකුගේ රූප සටහනක් මෙහි තිබීමයි. ඒ නිසා එය ඇති බැඳගෙන ඇති බැඳගෙන නමින් ප්‍රසිද්ධ වුණා කියලා එක් මතයක් තියෙනවා. තවත් මතයක් තමයි ද්‍රවිඩ ආක්‍රමණ හමුවේ සේනා සංවිධානය කිරීම සඳහා සැඟව සිටි වළගම්බා රජුගේ මංගල හස්තිරාජයා මෙම ලෙනෙහි බැඳ තිබුණු නිසා මෙය ඇතු බැඳි ලෙන නමින් ප්‍රසිද්ධ වුණා කියලා. ඒ වගේම මෙහි රහතන් වහන්සේලා වැඩ වාසය කළ බවට ද මතයක් තියනවා.


මෙම ලෙන අවට ඇති කළු දිය පොකුණ, උමං මාලිගය, සෝමා ලෙන, වලගම්බා රජු මෙහි වාසය කළ බවට සාක්ෂි දරනවා. මෙම කළු කළු දිය පොකුණේ ඉතාමත් පිරිසිදු ජලය එකල තිබුණු බවට සාධක හමු වූ අතර අද වන විට එය අභාවයට ගිහින්. ඒ වගේ රජු මෙතැන සිට සේනා සංවිධානය කරමින් ආයුධ නිපද වූ බවට මේ අවට තිබෙන යබොර පාෂාණ සාක්ෂි දරනවා.

ඒ වගේම ආදිමානවයා සතුව පැවති දියුණු සංස්කෘතියට මෙම ලෙන සාක්ෂි දරන්නේ කිසිම ලෝබකමක් නැතුවමයි. එහෙත් එහි ගිය අපගේ මුවගට නැගුනේ නම් සතුටු සිනහවක් නොවෙයි. මෙතරම් ඓතිහාසික වශයෙන් වැදගත් ස්ථානයක අගය නොදන්නා පිරිස් තාම අප අතර සිටිනවා.ගල් බිත්ති මත ආදි මානවයා විසින් සලකුණු කරන ලද සටහන් ඔවුන් විනාශකර විනාශ කර දමා ඇත්තේ සිත් පිත් නැත්තවුන් ලෙසටයි. පරිසරයක සුන්දරත්වය විඳින්නට නොහැකි ඓතිහාසික වටිනාකමක් නොදන්නා පිරිස් සිටින සමාජයක මෙවැනි දෑ සුරැකීම පරිසරයට ආදරය කරන අප සියල්ලන්ගේම යුතුකමක් වගේම වගකීමක්.


උපන්දා සිට අවුරුදු දෙක දක්වා දරුවෙකුට ඇතිවිය හැකි ආසාත්මිකතා හා ඉන් වැළැක්වීමට ගත යුතු පියවර

පුංචි පැංචන් කියන්නේ හරිම සංවේදී පිරිසක් . ඒ නිසාම අන් අයට වඩා ඒ පැටවුන්ට විශේෂ අවධානයක් අවශ්‍ය වෙනවා . පොඩිත්තන්ගේ ප්‍රතිශක්තිකරණය වැ...