.
පුංචි දෝණි අපේ කැදැල්ලට එක්ක ආව මුල්ම දවස, මගේ හිතට මොකක්දෝ නුහුරු ගතියක් දැනෙන්න ගත්තා. අම්මා අප්පච්චි නැති අඩුව හිත ඇතුලෙම තද කරගෙන හිනා වෙන්න මම උත්සාහ කළා.මගේ අම්මා අප්පච්චි වුණේ ආදරණීය නිමේෂ්.කියාගන්න බැරි මොකද්දෝ දුකක් හිත ඇතුලෙ තෙරපෙනවා. මම විඳපු සැප මගේ පුංචි රෝස මලට දෙන්න බැරි වුන එක ගැන මම ගොඩක් පසුතැවිලි උනා. රෝස පාට තීන්ත ගාපු කාමරයක ලස්සන ලස්සන සුරංගනාවියන් ගෙන් කුරුලු පැටවුන්ගෙන් හැඩ කරන්නට තරම් වත්කමක් අපට තිබුණෙ නෑ.ඉතිං අපේ දෝණිට ඒ දේවල් දෙන්න තරම් අපිට ආර්ථික ශක්තියක් තිබුණෙ නැහැ.
කාමරය මැද්දෙ තිබුනෙ ඇඳ අයිනකට දාලා කාමරය ටිකත් ඉඩ පාඩු ඇති ව හදා හදාගත්තේ මම ඉස්පිරිතාලේ නවතින්න කලින්. නිමේෂ්ටත් මේ දේවල් ගැන ලොකු තේරුමක් තිබුණෙ නෑ. මටත් එහෙමයි. බෝඩිමේ ඇන්ටි තමයි අපිට ඒ දේවල් ගැන කියලා දුන්නේ.ඇන්ටිගෙ දුව පාවිච්චි කරපු පුංචි තොටිල්ල ඇය අපට දුන්නේ අපේ අගහිගකම් දැනගෙන හිටපු නිසා.අම්මා නැති අඩුව පුරවන්නට ඇන්ටිගේ ආදර වදන් සමත් වුණා උනා. අපිට බෝඩිංකාරයෝ විදිහට නෙමෙයි එයාගෙ දරුවෝ දෙදෙනෙක් විදියට තමයි ඇන්ටි අපිට සැලකුවේ. ඇන්ටි හිටියෙ තනියම නිසා එයාගේ පාලුවට තනිකමට එයා අපට ගොඩක් ලං වුනා.
දෝණි එයාගේ අලුත් නිවහනට එද්දිත් එයා හිටියේ සැප නින්දක.අනේ ඒ මූණ මම, පොඩි කාලේ කාලේ වගේමයි.හිතට දැනුණු ඒ හැඟීම හරිම අමුතුයි. මට දෝණිව තොටිල්ලෙන් තියන්න හිතුනෙම නෑ. දෙවියනේ අම්මා කෙනෙක් දරුවෙකුට කොච්චර ආදරේද කියලා මට හොඳට දැනුනේ දෝණි මගේ තුරුලට ආව මුල්ම දවසේ. ඒ විදින වේදනාව මේ ලෝකේ අම්මා කෙනෙක්ට හැර වෙන කාටවත්ම විද දරාගන්න ගන්න බැහැ.හරිම පරිස්සමෙන් දෝණිව තොටිලි තියලා ඇහැ පිය ගහන්නේ නැතුව මම එයා දිහා බලාගෙන හිටියා. මට එයාගෙන් ඇස් අහකට ගන්න ලෝබ හිතුනා.
අපේ මේ අමුත්තිය බලන්න අපේ පුංචි කාමරයට මුලින්ම ආවේ බෝඩිමේ ඇන්ටි.පුංචි පුංචි මල් වැටුණු ගවුම් පොඩිති ඇන්ටි අතින්ම මහල ගෙන තිබුණා. අම්මා වගේමයි දුවත් ලස්සනයි කියලා ඇන්ටි කියද්දි මගේ හිතට අහිංසක ආඩම්බරකමකුත් නොදැනුනාම නොවෙයි. මුල් දවස් ටිකේ නම් දෝණිගේ වැඩ ටික කරගන්න මට නුහුරුයි වගේ දැනුනා. බෝඩිමේ ඇන්ටි තමයි ඒ හැම වෙලාවකදිම මම ලග හිටියේ.නිමේෂ්ට නිවාඩු නැති නිසා හැමදාම එයාට වැඩට යන්න උනා.ගොඩක් දවස් වලට නිමේෂ් එද්දි දෝණි නිදි.
මුල් දවස් ටිකේම කැම්පස් යන්නත් බැරි උනා. දෝණි වෙන කෙනෙක් ලග තත්පරයකටවත් තනිකරන්න මම කැමති නැහැ. ඒ දවස් ටිකේම මග හැරුණ පාඩම්වල නෝට් මගේ හොඳම යෙහෙළියො ගෙන දුන්නේ කිසිම ලෝබ කමක් නැතිව. එයාලටත් නිවාඩුවක් ලැබුන ගමන් දෝණි බලන්න එන්න පුරුදු වුණා .ගෙදර වැඩ ටිකක් අඩු වෙලාවට පාඩම් වැඩ වලට හිත යොමු කරන්න මම අමතක කලේ නෑ.කොහොම හරි මගේ හීනයට යනවා කියන අධිෂ්ඨානය මගේ හිතේ හැම වෙලාවෙම තිබුණා.
දින සති ගෙවිලා දන්නෙම නැතුව දෝණිට මාස තුනකුත් ලබලා.නිමේෂ් දැන් ස්ථිර සේවකයෙක.එයා දැන් වැඩට යන්නේ ෂිෆ්ට් එකට .ඒ නිසා මගේ වැඩ ගොඩක් පහසු වුණා. නිමේෂ් ඉන්න දවසට මම දෝණිව එයා ලග තියලා කැම්පස් යන්න පටන් ගත්තා.ඒත් ඒ ගියපු වෙලේ ඉඳන් මතක් වෙන්නේ මගේ පුංචි රෝස මල.දේශන ඉවර වුණ ගමන්ම මම දුවගෙන යන්නේ දෝණිව බලන්න තියෙන හදිස්සිය නිසාමයි.එදත් මම එක පිම්මට දුවගෙන ආවෙ දෝණි මම නැතුව අඬනවද හිත හිත. එහෙම එද්දි දැක්කේ අපේ බෝඩින් කාමරය ළඟ වෑන් එකත් නවත්තලා තියෙනවා.මම ඒ ගැන හිතන්නෙවත් නැතිව කාමරයට එබුණෙ දෝණි කෝ බලන්න.දෙවියනේ දැකපු දේ මට අදහාගන්න බැරිවුණා. මගේ දෙපා වාරු නෑ වගෙයි .මගෙ අප්පච්චි දෝණිව වඩාගෙන හුරතල් කරනවා. අම්මා දෝනිගෙ රෙදි බෑග් අස් කරනවා. මොකද කරන්නේ කියලා හිතා ගන්න බැරුව ගල් ගැහිල වගේ බලාගෙන හිටියා.එතකොට තමයි කඩේට ගිය නිමේෂ් ආවේ.
අම්මගෙයි අප්පච්චිගෙයි ඇස් වල කඳුළු. මාව දැක්ක ගමන්ම අම්මා මාව බදාගෙන අඩන්න පටන් ගත්තා. අපි කොච්චර වෙලා එහෙම හිටියද කියලා මට මතක නෑ. අම්මයි අප්පච්චි ඇවිත් හිටියේ අපිව මහ ගෙදර එක්කන් යන්න. මට මොකක්ද කරන්නේ කියලා මට හිතාගන්න බැරි වුණා. මට ආයෙත් එයාලගෙ ඇස් වලට කඳුලු දෙන්න බැරි නිසා අපි පුංචි දෝණි එක්ක මහ ගෙදර යන්න ලැහැස්ති වුනා .
මහ ගෙදර ගිය මට මගේ ඇස් අදහා ගන්න බැරි වුණා .රෝස පාට තීන්ත ගාලා ලස්සනට හැඩ කරලා තිබුණු පුංචි දෝණිගේ කාමරය හරියට දිව්‍ය ලෝකෙ කොටසක් වගේයි.අම්මා අප්පච්චි හැමදේම ලෑස්ති කරල තමයි අපිව එක්කන් යන්න ඇවිත් තිබුනේ.එක එක මෝස්තරයේ පුංචි ගවුම් ගොඩක් අම්මා එයාගේ අතින්ම දෝණිට මහලා තිබුණා. මම ගෙදරින් ගිය දවසේ අප්පච්චිට හාට් ඇටෑක් එකක් හැදිලා දවස් ගානක් ඉස්පිරිතාලේ හිටියා කියලා කීවේ අම්මා.මං එයාලට දුන්න දුක ගැන මම අදටත් ගොඩක් පසුතැවිලි වෙනවා.
අත්තම්මයි සීයයි එක්ක පුංචි දෝණි හුරතල් වෙනකොට තමයි මට හිතුනේ අපේ පවුල සම්පූර්ණ වුණේ දැං කියලා. මට කැම්පස් යන්නත් ඕන නිසා සතියක් විතර මහ ගෙදර ඉඳලා අපි ආයේ කොළඹ එන්න හිතුවා. තාත්තා ඒ වෙද්දි මෙහෙ හැමදේම ලෑස්ති කරල තිබුනෙ.අපේ නමින් පුංචි නිවසක් අප්පච්චි කුලියට අරගෙන.අප්පච්චිගෙ යාලුවෙක්ගෙ කම්පැනි එකක නිමේෂ්ට හොඳ රැකියාවකුත් ලෑස්ති කරල තිබුනෙ. දැන් නං අපිට කිසිම කරදරයක් නෑ නිවාඩුවක් ලැබුන ගමන්ම අම්මයි අප්පච්චි දෝණි බලන්න එනවා. නිමේෂ්ගෙ පවුලේ අයත් අපි එක්ක තිබුණ අමනාපකම් දැන් අමතක කරලා. මේ හැමදේම හොඳ විදියට විසඳුනේ අපේ පුංචි දෝණිගේ වාසනාවට කියලා තමයි අපි විශ්වාස කරන්නේ.